බණ්ඩාරනායක 59 වැනි ගුණ සමරුව අද

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිවු වැනි අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 59 වැනි ගුණ සමරුව අදට යෙදී තිබේ. උත්සව කටයුතු අද (26) සවස 4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා , සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය , හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා යන ත්‍රිත්වයේම ගුණ සැමරුව පැවැත්වේ.

ඊට සමගාමීව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද උදෑසන 8.00 ට පුෂ්පෝහාර උත්සවයක් ද පැවත්වේ.

බණ්ඩාරනායක ත්‍රිත්වයේ මෙම ගුණසැමරු මහෝත්සවය පැවැත්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානයක්කාර මහතා කටයුතු සංවිධානය කර ඇත.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේන් මෙම උත්සවය සිදු කෙරේ.

එහිදී එක් එක් ගුණ සැමරු දේශනයන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ ගුණවර්ධන මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා , බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවත්වනු ලැබේ.

හිටුප ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා , හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම ගුණ සැමරු උත්සවය ඇමැතීමට නියමිතයි.මෙම අවසථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් , පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

1926 දී ශ්‍රී ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමින් ඇතුළත් වූ එතුමා 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. පසුව 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍මැති පදවියට පත්වුයේය.

ශ්‍රී ලංකාවේ සිවු වැනි අගමැතිවරයා ලෙස පත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 වර්ෂයේ දී දැයෙන් සමුගන්නා තෙක්ම තම අගමැතිධුරයේ වැඩකටයුතු සිදු කෙළේ ය.ඉන් අනතුරුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබීය.

1899 ජනවාරි 08 වැනිදා කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ අතර පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව බෞද්ධයකු විය. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය.ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් අතර වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවියෙනි. 1915 ක්‍රේම්බිජ් සීනියර් විභාගය ඉහලින් සමත් වූ මෙතුමා 1919 දී ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුලත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *