රත්මලාන ඇතුළු අභ්‍යන්තර ගුවන් තොටුපල 06ක් කඩිනමින් සංවර්ධනයට

(කොළඹ, ලංකාපුවත්) –රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොක්ගල සහ දිගන යන ප‍්‍රදේශවල පිහිටි අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනමින් සංවර්ධනය කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (25) පැවැති විශේෂ සාකච්ඡාවකදී ය.

රත්මලාන ගුවන් තොටුපල භූමියෙන් අක්කර 25 ක පමණ භූමි භාගයක් මේ වනවිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇති බැවින් එය නැවත ලබාගැනීමට ද අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර පලාලි ගුවන් තොටුපල රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.

පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ කටයුතු කිසිසේත් විදේශ රටකට ලබා නොදෙන බවත්, එය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රත්මලාන ගුවන් තොටුපල භූමියෙන් අක්කර 25ක පමණ භූමි භාගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නැවත ලබා ගෙන එහි සිවිල් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ කටයුතු දැනට ආරම්භ කර තිබේ. මේ සඳහා දැනට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නව අංගණ ඉදිකිරීම සඳහා ගුවන් හමුදාවට රුපියල් මිලියන 750 කට අධික මුදලක් ගෙවීමට එකඟ වී ඇති අතර, එයින් දැනටමත් රුපියල් මිලියන 250 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇත.

ඒ අනුව ගුවන් හමුදාව 2018 දෙසැම්බර් 31ට පෙර එකී ඉඩම් කොටස හා ගොඩනැඟිලි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ගුවන් හමුදා බලධාරීහු මෙම සාකච්ඡාවේදී අැමැතිවරයාට දන්වා සිටියහ.

රත්මලාන ගුවන් තොටුපල මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා පෞද්ගලික ජෙට් ගුවන් යානා ගොඩබැස්සවීමේ ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස අැමැතිවරයා උපදෙස් දුන් අතර, ගුවන් යානා මෙහෙයුම් සඳහා අවශ්‍ය නව තාක්ෂණ උපකරණ මිලදී ගැනීමටත්, නව සංඥා කුලුනක් ස්ථාපිත කිරීමටත්, ගුවන් යානා නවතා තැබීමට අංගණයක් ඉදිකිරීමටත් දැනටම සැලසුම් සකස් කර ඇති බව එහිදී හෙළි විය.

පෞද්ගලික ජෙට් යානා මෙහෙයවීමේ පර්යන්තයක් ස්ථාපිත කිරීමට තරගකාරී මිල ගණන් කැඳවා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අැමැතිවරයා එහිදී උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය ගුවන් තොටුපොළ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙන සීගිරිය ගුවන් තොටුපොළේ ධාවන පථය පිළිසකර කිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවත්, කොග්ගල ගුවන් තොටුපලේ ධාවන පථය ද අලුත්වැඩියා කල යුතු බවටත් එහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *