රුපියල ස්ථාවරවීමේ ලකුණු

(කොළඹ, ලංකාපුවත්) –කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්ව පවතින බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රජයේ යහපත් මූල්‍ය කළමනාකරණය ඊට හේතුව වේ. ඊයේ(25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ වනවිට ශ්‍රී ලංකා රුපියල ස්ථාවරවීමේ ලක්‍ෂණ පෙන්නුම් කරමින් පවතිනවා. ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අවප්‍රමාණයවීම සියයට 9ක් වුවත් ඉන්දීය රුපියල අව ප්‍රමාණය වීම සියයට 11ක් වී තිබෙනවා.

ඒ වගේම ඉන්දුනිසියානු රුෆියා සහ කොරියානු වොන් එක ද අවප්‍රමාණය වුණා. සංවර්ධිත රටවල් ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල මුදලේ වටිනාකම අඩුවීම අපටත් වඩා ඉහළ මට්ටමක පවතිනවා.

අපි මේ රුපියලේ අගය අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් රජයක් ලෙස සාර්ථකව මුහුණ දී තිබෙනවා. අපිට විදේශ විනිමය අවශ්‍ය වෙලා තියෙනවා රාජපක්‍ෂ ආණ්ඩුව තියලා ගිය විශාල ණය ප්‍රමාණය ගෙවන්න. ලබන වසර දෙකේදී ද අපිට රුපියල් ට්‍රිලියන 4කට වැඩි මුදලක් ණය වශයෙන් ගෙවන්න තියෙනවා. මේ ගෙවන්න තියෙන ණය අපට ඉදිරියේදී ගෙවාගන්නට බැරි වුණොත් තමයි ආජන්ටිනාවට සහ ග්‍රීසියට වෙච්ච සිද්ධිය වන්නේ.

අපිට ගෙවන්නට ඇති ණය ගෙවීම් නොකර අප සතු විදේශ විනිමය ඩොලරය පාලනය කරන්න ගියොත් තමයි අපේ ආර්ථිකයේ කඩා වැටීමක් වන්න පුලුවන්.

විපක්‍ෂයේ ඉන්න දේශපාලඥයින් මෙන්ම හිටපු මුදල් ඇමතිතුමා ද අත දරුවන් වගේ පෙන්වන්න හදනවා ඉතිහාසයේ කවදාවත් මේ අන්දමින් රුපියලේ අගය අවප්‍රමාණය නොවුණු බව. එතුමාට අමතක නම් මට පෙන්වා දෙන්න පුලුවන් 2012 දී මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙන්ම ජනාධිපතිවරයාව සිටියදී රුපියලේ අව ප්‍රමාණයක වීම සියයට 14කට වඩා වැඩි ප්‍රමාණයකින් සිදුවූ බව.“ යැයි අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 11 =