එංගලන්තය සමග එක්දින තරගාවලි සංචිතයට මැතිව්ස් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ලබන මස ඇරැඹෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇත්තේ ශාරිරික යෝග්‍යතාව සැළකිල්ලට ගනිමින් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව මෙසේ තමා එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණයට මැතිව්ස් ඒ මොහොතේදිම ප්‍රතිචාර දක්වමින් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි ද, ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට තමාට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 10 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. එම කණ්ඩායම මේ වනවිට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියට යවා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ පෙරවරුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දී මැතිව්ස් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර තේරීම් කමිටුව එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් මැතිව්ස් ඉවත් කර ඇති බව ඔහුට දන්වා ඇත්තේ ඒ මොහොතේදිය.

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව තමා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය පිළිබඳ දැඩි විමතියට පත්ව ඇති මැතිව්ස් ශාරිරික යෝග්‍යතාව සැළකිල්ලට ගෙන කණ්ඩායමෙන් ඉවත් කරන්නේ නම් එවැනි පරීක්ෂණයකට පෙනී සිටීමට තමාට අවස්ථාවක් ලබාදෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ මොහොතේදී බව ආරංචි මාර්ග කියයි.

පසුගිය වසර දෙක ඇතුළත එක්දින තරගබිමේ කැපී පෙනෙන දස්කම් පෑ මැතිව්ස් පසුගියදා නිමාවට පත්වූ දකුණු අප්‍රිකානුවන්ට එරෙහි එක්දින තරගාවලියේ කණ්ඩායම් 2න්ම වැඩිම ලකුණුලාභියාද විය. එබැවින් ඔහු එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *