තොරතුරු කොමිෂන් සභාවට ලැබෙන අමුතු අභියාචනා

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු කොමිෂන් සභාව වෙත මසකට අභියාචනා සියයක් පමණ ලැබෙන බවත් ඇතැම් ඒවා පෞද්ගලික ආරවුල් හා දුක්ගැනවිලි බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පැවසීය.

නමුත් ඒවාට කොමිෂන් සභාවට මැදිහත්වීමක් සිදු විය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ වෙබ් මාධ්‍යවේදීන් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(26) පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එය සංවිධාන කර තිබුණේ සැප්තැම්බර් 21වනදා සිට 28වනදා දක්වා පැවැත්වෙන ‘තොරතුරු සතිය‘ තේමා කර ගනිමිනි.

කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එහිදී කියා සිටියේ, තොරතුරු දැන ගැනීමේ පනත ශ්‍රී ලංකාවේ සම්මත කිරීමෙන් පසු මේ දක්වා ගත වූ කාලය තුළ දී තොරතුරු කොමිෂන් සභාව වෙත තොරතුරු දැන ගැනීමට අදාළව අභියාචනා 970ක් ලැබුණු බවයි. ඒවා අතරින් දැනට අභියාචනා 690ක් විභාගයට ගෙන ඒ අතරින් 452ක් සදහා විසදුම් ලබා දී තිබේ.

විශේෂයෙන්ම ජනතාවට තොරතුරු ලබා දීම සදහා අමාත්‍යංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, පොලීසි, අධිකරණ, රජය මගිනි පිළිගත් හෝ යම්තාක් දුරට රජයේ අරමුදල් ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, රජයේ අරමුදල් ලබන උසස් අධ්‍යාපන ආයතන ආදී පොදු අධිකාරීන් බැදී සිටී.

ලෝකයේ හොඳ තොරතුරු පනත ඉදිරිපත් කර ඇත්තේ මැක්ෂිකෝ රාජ්‍යයයි. එසේම දෙවන ස්ථානයේ පසුවන්නේ සර්බියා රාජ්‍යයි. එසේම ලොව තෙවැනි හොඳම තොරතුරු පනත ඇති රට වන්නේ අපේ ශ්‍රී ලංකාවයි.

මේ වන විට ලෝකයේ රටවල් 120කට වැඩි ප්‍රමාණයක් තොරතුරු දැනගැනීමේ අයිතිය සිය ව්‍යවස්ථාමය අණපනත් හා නෛතික ප්‍රකාශන මගින් සිය පුරවැසියන්ට ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =