සාවද්‍ය ප්‍රචාරයන්ට ඇමති මංගලගෙන් දැඩි ප්‍රහාර

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි කියන බරපතල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව දැනට පරීක්ෂණ පවත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මේ වනවිට මෙම චෝදනා පිළිබඳ තිබෙන එකම මූලාශ්‍රය වන්නේ නාමල් කුමාර නැමැත්තෙක් කරන ලද ප්‍රකාශයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි කුමන්ත්‍රණයක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඇතැයි වාර්තාකර නැහැ. එහෙත් මෙම චෝදනා‍ ඉතා බරපතල ඒවා වන බැවින් එහි නිලධාරීන් මේ චෝදනා පිළිබඳ සෑම ප්‍රකාශයක් හෝ තොරතුරක් පිළිබඳ දැඩි විමර්ශනයකට භාජනය කළ යුතුවේ. මක්නිසාදයත් එය ජාතික ආරක්ෂාව ගැන කරුණක් වන බැවිනි.

ඉකුත් සඳුදා මෙම විමර්ශන කටයුතු කරද්දී ඉන්දියානු ජාතික මාසේලි තෝමස් යන අය අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සී. අයි. ඩී. අත්අඩංගුවේ තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබාදී තිබේ. මොහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හේතුව නම් ඔහු අංක 48 දරන 1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පස්වන වගන්තිය වන ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධ සැලසුමක් පිළිබඳ විස්තර වාර්තා කිරීමට අපොහොසත්වූයේ සැකය මතයි.

මෙම සැකය පිළිබඳ කාරණාව විවෘත අධිකරණයේ ලිඛිත හා වාචික වාර්තා මගින් දක්වයි. මේ පිළිබඳ වැඩිදුර සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණය වෙත සී.අයි.ඩී.ය වාර්තා කරයි. ඉන් පසු මාධ්‍ය ජාලා කිහිපයක් මෙවැනි ඝාතන තැතක් ඇති බවට ඉන්දියානු ජාතිකයා තහවුරු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට පැවසූ බව දක්වමින් සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයක් ලබාදී ඇත.

සී.අයි.ඩී.ය කිසිම විටෙක මෙවැනි ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

ජනමාධ්‍යවේදීන්ට අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට අදාළ ලිපිලේඛන ලබා ගැනීමේ නිදහස පවතියි.

එහෙත් මෙවැනි ඉතා බරපතල කරුණකදී තහවුරු කිරීමකින් තොරව කරුණු පළකිරීම සමාව දිය නොහැකි වරදකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =