ලෝක ළමා දින ජාතික උත්සවය ජනපති- අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ලෝක ළමා දින ජාතික උත්සවය ඔක්තෝබර් 01වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න’ තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී පැවැත්වේ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවත්වයි.

ලෝක ළමා දින ජාතික උත්සවයට සමඟාමීව දිස්ත්‍රික් හා ප්‍රාදේශීයව වැඩසටහන්රැසක් පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ගැටලුවලට හා අවදානමට ලක් වූ දරුවන් 1000ක් සඳහා දිස්ත්‍රික් 22ක වැඩසටහන් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු යොදා ඇත. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් දරුවන් 3දෙනකු බැගින් මේ සඳහා තෝරා ගෙන තිබේ.

එහිදී රුපියල් 2000ක් වටිනා අධ්‍යාපන උපකරණ, රුපියල් 1000ක ඉතිරි කිරීමේ ගිණුමක්, අභ්‍යාස පොත් 6ක කට්ටලයක්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ශබ්ද කෝෂයක්, සිංහල ළමුන්ට දෙමළ භාෂා හා දෙමළ ළමුන්ට සිංහල භාෂා පොත බැගින් වූ අධ්‍යාපන ආධාර කට්ටලයක් ලබාදීම සිදු කෙරේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින්, ළමා සමාජ එකතු කර නිර්මාණාත්මක වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 තුළම පැවැත්වීට ද කටයුතු සැලසුම් කර තිබේ. මේ සඳහා එක් වැඩසටහනකට රුපියල් 5000 බැගින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම 30 වන දින විහාර මහාදේවී උද්‍යානයේ දී ජාතික රූපවාහිනී සංස්ථාව මඟින් පවත්වන ලෝක ළමා දින සැමරුම් වැඩසටහනේ කුටියක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇත. එහිදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් හඳුන්වාදීම (ආධාර වැඩසටහන්, ආරක්ෂණ සැලසුම් සකස් කිරීම, ළමා සමාජ ළමා සභා වැඩසටහන, ළමා සංවර්ධන කමිටු වැඩසටහන, දරුවන් හදාවඩා ගැනීම) කැටපත් පවුර (ළමුන්ට හා වැඩිහිටියන්ට ළමා සංවර්ධනය හා ළමා ආරක්ෂාවට අදාළ තේමා පාඨයන් පිළිබඳ තම තමන්ගේ අදහස් ආකල්ප සටහන් කිරීම සඳහා ලබා දී දවසේ හොඳම අදහස තෝරා ත්‍යාග ලබාදීම) ළමුන් සඳහා ළමා අයිතිවාසිකම් ඇතුළත් ප්‍රහේලිකා සම්පූර්ණ කිරීම (පැය 02කට වරක් සම්පූර්ණ කරනු ලබන ප්‍රහේලිකා කුසපත් ඇදීමෙන් තෝරා ගත් දරුවන් සඳහා ත්‍යාගපිරිනැමීම)එම දෙපාර්තමේන්තුව නිර්මාණය කළ ළමා ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ කෙටි වීඩියෝ පට හා පණිවිඩ ප්‍රදර්ශන කුටියේ ප්‍රදර්ශනය කිරීම ද මෙහිදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 4 =