උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සංශෝධනය විය යුතු තැනක් ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිය සටහන් කිරීම වෙනස් කර ශ්‍රී ලාංකික යනුවෙන් සටහන් කිරීම ආරම්භ කළ යුුතුයැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය 28වනදා යාපනයේ චාවකච්චේරියේ දී කීවේය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පවත්වන ‘නිල මෙහෙවර’ ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ චාවකච්චේරි ප්‍රාදේශීය නිල මෙහෙවර අද ඩ්‍රිබර්ග් විද්‍යාලයේ දී පැවැත්විණි. එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

”කෙනෙක් උපදින අවස්ථාවේ දී උප්පැන්න සහතිකයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් කරනවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. මේ විෂය තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. අපි අනාගතයේ දී උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික කියලා ලියන්න කටයුතු කරන්න ඕනෑ. අපි ජාති වශයෙන් බෙදෙන්නේ නැතිව හැමෝම මනුස්සයන් හැටියට වැඩ කළොත් පමණයි මේ රට දියුණු කරන්න පුළලුවන් වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට සිතිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.

අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වන්නේ මේ රට එකම ජාතිකයක් එකම ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට ගෙන යන්න. ජාති වශයෙන් බෙදිලා අපිට කවදාවත් රටක් ගොඩදාන්න බැහැ. අපේ බෞද්ධ අය හින්දු කෝවිල්වලට යනවා. හින්දු අය බෞද්ධ සිද්ධස්ථානවලට යනවා. ඉතින් අපි හැමෝම හැමෝටම ගෞරව කරමින් ජීවත් වෙන්න ඕනෑ. ”

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීමේ පළමු පියවර වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ජනතා ගැටලු ඒකරාශී කර තිබිණි. ඒ අනුව චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පමණක් එවැනි නොවිසඳුණු ගැටලු 25,613ක් හඳුනාගෙන තිබිණි. නිල මෙහෙවර වැඩසටහන පසුගිය 28වනදා පැවැත්වීමටත් පෙර එම ගැටලුවලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් විසඳා තිබිණි.

සෙනසුරාදා චංකානයි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන, ඉරිදා කරෙයිනගර් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන සහ සඳුදා කයිට්ස් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවය සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා සහ උතුරු පළාත් දේශපාලනඥයෝ ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *