ගංගා දෝණි අශි‍්‍රත අනවසර හා අවසර ඉදිකිරීම් වහාම ඉවත් කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නිරන්තරයෙන් ආපදා ආධාර බෙදා දෙමින් සිටීමට සිදුව ඇති බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

දිවයින පුරා ඉදිකර ඇති අක‍්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් ඉතා සුළු වර්ෂාවකදී වුවද විශාල විනාශයන් සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම තත්ත්වයට පළාත් පාලන ආයතන වැඩි වශයෙන් වගකිව යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පවතින අධික වැසි හමුවේ හමාගිය දැඩි සුළං තත්ත්වයකින් ආණමඩුව, මදවක්කුලම, ආඩිගම, බුද්ධිගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හානි සිදුව තිබේ. ප‍්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර, නිවාස ගණනාවකටද සුළගින් හානි සිදුව තිබේ. මේ පිළිබඳ අවදානය යොමු කරමින් ඊයේ(01) රාති‍්‍රයේ ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සුළං නතර කිරීමට කිසිදු හැකියාවක් නෑ. ඒත් ආපදා අවම කරගන්න පුළුවන්. එහෙන් එවැනි දැක්මකින් යුතු වැඩපිළිවෙලක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වී නැහැ. මේ දිනවන අකුරණ නගරය යටවෙලා. පාරවල්වල යන්න බෑ වගේම නිවාස සිය ගණනකට බලපෑම් එල්ල වෙලා. මෙවැනි තත්ත්වයක් ඇති වුනේ ඇයි කියන කාරණය ගැන කිසිවෙක් අවදානය යොමු කරන්නේ නෑ. අපි සමීක්‍ෂණයක් කළා. එහිදී අනාවරණ වුනේ ගංගා, ජලාශ වැනි ස්ථානවල අනවසර හා අවසර සහිතව විවිධ ඉදිකිරීම් සිදු කර ඇති බවයි. මේවාට අවසර දෙන්නේ පළාත් පාලන ආයතන විසින්. එම ආයතනවල වගකීම් විරහිත කි‍්‍රයාකලාපය මෙම තත්ත්වයට හේතුවෙලා. වැසි ජලය ගලා යාම අවහිර වෙලා. මේ නිසා ගංගාවල වැලි නිධි ස්ථානගත වෙලත් තියෙනවා. ඒ වගේම ගංගාවලට ජලය බැස යාන ස්ථාන විවිධ ඉදිකිරීම් හේතුවෙන් අවහිර වෙලා. මේ තත්ත්වය තුළයි ජල ගැලීම් ඇති වන්නේ. අවසන් ප‍්‍රතිපලය රටේ මුදල් ආධාර වශයෙන් ලබා දීම. එය සංවර්ධන වැඩපිළීවෙලට බාධානවක් ලෙස හදුනා ගත යුතුයි. ආපදා හානි වෙනුවෙන් වන්දි ලබා දෙන්න අති විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා. ඒ අතරින් සියයට අනූවක් විතර අපි වැය කරන්නේ මේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදුවන ආපදා හානී වෙනුවෙන්.

පක්‍ෂ පාට වැදගත් නෑ. කවුරු විසින් පාලනය කළත් අනවසර ඉදිකිරීම් හෝ අවසර සහිතව ගංගා මිටියාවත්වල හෝ ආපදා තත්ත්වයන්ට හේතුවන ඉදිකිරීම් සිදු කර ඇත්නම් ඒවා ඉවත් කරන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ පළාත් පාලන ආයතනවලටයි.

මේ ඉදිකිරීම් ඉවත් කරන්න පළාත් පාලන ආයතනවලට පූර්ණ බලය තියෙනවා. එහෙම තියෙද්දිත් මේ වගේ ඉදිකිරීම් තවදුරටත් සිදුවනවා වගේම, ඉදිකර ස්ථාන ඉවත් කරන්න පියවර ගන්නෙත් නෑ. කාගේ බලයකට මේ වගේ දේවල් සිදුවනවද කියල සොයා බැලිය යුතුයි. රටට විනාශයක් ගෙන දෙන ආකාරයේ ව්‍යාපෘති සිදු කරන්න ඉඩ දීමටනම් පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමෙන් පලක් නෑ.

ඒ වගේම නැවතත් වැසි සහිත කාලගුණයක් ඇති වෙමින් තිබෙනවා. මෙහිදී ඇතිවන අවදානම්වලින් ජනතාව ආරක්‍ෂා කිරීමට රජය බැදී සිටින බවත් කිව යුතුයි. ආණමඩුවට සුළං ජල ගැලීම් ඇති වෙනවිට කදුකරය නාය යනවා. එබැවින් මේ සෑම දේකටම මුහුන දෙන්න වෙන්නේ රජයට. අපි ඒ වෙනුවෙන් මේ වන විටත් ආපදා කණ්ඩායම් සූදානම් කරල තියෙනවා.

ආණමඩුව ප‍්‍රදේශයේ සිදුව ඇති ආපදා හානි පිළිබඳ වාර්තාවක් කඩිනමින් සම්පාදනය කිරීම, ඉදිරි තත්ත්වයකට සූදානම් වීම ඇතුළු කරුණු කිහිපයක් මත පදනම්ව මෙම සාකච්ඡුාව පැවැත්විණි. ඒ සඳහා ආණමඩුව මැතිවරණ බලප‍්‍රදේශයට අයත් පළාත්පාලන ආයතන පහක නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 13 =