නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද මාතෘ භූමිය වෙනුවෙන් කැපකරන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටේ සහ ජාතියේ අනාගතය රඳා පවතින්නේ උගත් අනාගත පරපුරක් මත බැවින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පසුගිය වසර තුන හමාර තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනාධිපතිතුමා පවසයි.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටිය දී එහි වරප‍්‍රසාද ලබන සියලුදෙනා යහපත් පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් ද සිය වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ කි‍්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව එම සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුවා ය.

සමරු ඵලකය නිරාවරණය කර ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතා දක්වන සිරිමාවෝ දියණියන්ගේ කී‍්‍රඩා පුහුණුවීම් තව තවත් විධිමත් කිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ හා ආදි ශිෂ්‍ය සංගමයේ අනුග‍්‍රහයෙන් නවීන පහසුකම් රැසකින් සමන්විතව මෙම ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණය ඉදිකර තිබේ.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ ඇගයීමට ලක්වන කරුණු අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය බවයි.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

විද්‍යාලයේ පරිපාලන කටයුතු වෙනුවෙන් වසර 23 ක් විශිෂ්ට සේවාවක් ඉටුකළ ගුරු මහත්මීන් දෙදෙනෙකු ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය.

විදුහල්පතිනි ආර්. ඒ. එම්. ආර්. හේරත් මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූවා ය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද විද්‍යාලයේ විශ‍්‍රාමලත් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *