රට හමුවේ ඇති අනාගත අභියෝගය ගැන ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) –2020 ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න පිළිබඳ කථිකාව වෙනුවට 2050 දී රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද යන්න පිළිබඳ අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික බලපෑම්වලින් වැඩිම පීඩාවක් විදීමට සිදුවන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හදුනාගෙන ඇති බවයි. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කාරණයක් නැවතත් සිහිපත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින අධික වැසි හමුවේ හමාගිය දැඩි සුළං තත්ත්වයකින් ආණමඩුව, මදවක්කුලම, ආඩිගම, බුද්ධිගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හානි සිදුව තිබේ. ප‍්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබූ අතර, නිවාස ගණනාවකටද සුළගින් හානි සිදුව තිබේ. පසුගිය 01වනදා සිදු වූ මෙම ආපදාවන්ට අදාල අධාර අදාල ජනතාව වෙත පසුදාම ලබාදීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු කළේය. ආඩිගමදී එම අධාර ලබා දෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් පලකළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ විසදුම් සෙවිය යුතු කාරණා පසෙකට විසිකර, පුද්ගලික බැබලීම වෙනුවෙන් නිර්මාණය වන කරුණු කාරණා පමණක් සමාජගතවන තත්ත්වයක් නිරීක්‍ෂනය වන බවයි. එම තත්ත්වය වහාම වෙනස් කල යුතු බවත්, අනාගත අභියෝග සඳහා මුහුණ දීමට සූදානම් වීම සියළු දෙනාගේ වගකීම බවද ඔහු සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා,

වසර 2050 වන විට ශී‍්‍ර ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ යන බවට පූර්ව නිගමනයන් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ආසියාවේ වැඩිම දේශගුණ හා කාලගුණ බලපෑම්වලට මුහුණ දෙන රට වන්නේද ශී‍්‍ර ලංකාවයි. එම තත්ත්වයන්වලින් ඇතිවන බලපෑම් අවම කර ගැනීම වෙනුවෙන් සැලසුම් කිරීමයි දැන් සිදුවිය යුත්තේ. ඒත් අපි ඒ ගැන කතා කරන්නේ නෑ. මෙම තත්ත්වයන්ට මුහුණ දෙන්න ලෑස්ති වෙමු කියල විපක්‍ෂයේ කිසිවෙකු කියන්නේ නෑ. රටට කුමක් වුවත් කමක් නෑ ජනතාවට කුමන බලපෑම් එල්ල වුනත් කමක් නෑ ඔවුන්ට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. පවුලක් කරේ තියාගෙන 2020 ගැන කතා කරන පොහොට්ටු කල්ලියට රටේ අනාගතය වැඩක් නෑ.

ඒ නිසා රජයක් විදියට අපි මේ දේවල් දැකල, ඒ ගැන අධ්‍යනයන් සිදු කරමින් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් අවම කිරීමට පුළුල් වැඩපිළීවෙලක් සකස් කර තිබෙනවා. මේ කාරණා සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි. බෙදී වෙන්වී දේශපාලනය කරනවාට වඩා වැදගත් වන්නේ බලයේ සිටින රජය සමග එක්ව අභීයෝග ජය ගැනීමට පෙරට පැමිණීමයි.

අනාගතයේ ඇති විය හැකි විශාලම ගැටළුව වන්නේ දේශගුණික බලපෑම් බව කිවයුතුයි. ඒ තත්ත්වයන්ට නිසි පරිදි මුහුණ දීමට නොහැකි වුවහොත් අපේ ආර්ථිකය මෙන්ම ජනජීවිතයද මුළුමනින්ම කඩා වැටෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. දේශගුණික තත්ත්වයන් මත සිදුවන විපර්යාස මෙන්ම කාබන් අධික ලෙස විමෝචනය වීමෙන් සිදුවන විපර්යාස හමුවේ අපි දැඩි බලපෑමකට ලක් වෙමින් සිටිනවා. මේ අවදානම මීට ඉහත රජයන් නිසි පරිදි හදුනා ගත්තේ නෑ. ඒ නිසා වත්මන් රජයට විශාල කාර්යභාරයක් පැවැරී තිබෙනවා.

පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චි, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, ගම්පහ හා කෑගල්ල යන දිස්ති‍්‍රක්ක දැඩි අවදානම් කලාප ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. දේශපාලනය කියන්නේ පක්‍ෂවලට බෙදී හොද දේටත් විරුද්ධ වෙවී කටයුතු කිරීම නොවෙයි. දේශපාලන කියන්නේ මේ ආකාරයෙන් මතුවන ගැටළුවලට විසදුම් සොයමින් ජනතාවත් රටත් ආරක්‍ෂා කිරීමයි.

උතුරු සහ වයඹ පළාත්වලට ය.වැඩි බලපෑම් එල්ල විය හැකියි. මේ වන විටත් එම පළාත්වල වෙසෙන ජනතාව කාලගුණික විපර්යාස, එනම් අඩු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය යන භයානක කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. මීට අමතරව, උතුරු මැද සහ බස්නාහිර පළාත් ද මෙම තර්ජනයට ලක්වෙමින් පවතින බවත්, උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම යන කරුණු මෙන්ම කාබන් මුදා හැරීමත් නිසා ඉදිරියේදී මෙම පළාත්වල ජීවන මට්ටම 8% න් පමණ පහත වැටෙනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ. විසදුම් සෙවිය යුතු මෙවැනි බරපතල කාරණා අමතරක කර දමමින් ජනතාව වෙනත් දිශාවකට යොමු කිරීම දේශපාලකයින්ගේ වගකීම නොවන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *