රටපුරා උදා ගම්මාන 2,500ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට උදා ගම්මාන 2,500 ක් රට පුරා ඉදි කිරීම ඉලක්කය බව නිවස හා ඉදිකිරීම් අමාත්‍ය අසජිත් ප්‍රේමදස මහත පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන, ජයන්තිපුර ඉදිවූ “බිසෝවැඩිගම” උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

පසුගිය මහමැතිවරණයෙන් පසුව යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිදුනු උදා ගම්මාන’ වැඩසටහන යටතේ 124 වන ආදර්ශ ගම්මාන අද දින ජනතා අයිතියට පත් කිරීමට අපට හැකි වුණා. ඒ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ජයන්තිපුර ප්‍රදේශයේ ඉදි වූ ‘බිසෝවැඩිගම’ උදා ගම්මානයි. මෙම ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්කළ 8 වන උදා ගම්මානයයි.

යහපාලන රජය අද නිවාස සංවර්ධනයට අසීමිත වූ ශක්තියක් ලබා දී තිබෙනවා. අපේ නිවාස සංවර්ධන වැඩසටහන අද ක්‍රියාත්මක වන්නේ රටේ පළාත් 9 තුළ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදියි. මේ වන විට අප සතියට උදා ගම්මාන තුනක් හෝ හතරක් ජනතා අයිතියට පත් කරමින් සිටිනවා. අපේ ඉලක්කය වන්නේ ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට උදා ගම්මාන 2,500 ක් රට පුරා ඉදි කිරීමයි.

අද වන විට දෙවුන්දර තුඩුවේ සිට පේරුදු තුඩුව දක්වා දිවයින පුරා උදා ගම්මාන 1,275 ක පමණ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා. අපට තව ඉතිරිව ඇත්තේ දින 488 ක් පමණයි. අපේ ඉලක්කය ජය ගන්නට නම් මෙම දින ප්‍රමාණය තුළ ගම්මාන 1,225 ක් ඉදිකළ යුතුයි. එම ඉලක්කය අප කෙසේ හෝ ජය ගන්නවා. අප ඉන් නතර වන්නේ නැහැ. 2020 වසරේ ජනවාරි මස 1 වැනිදා මාතෘ භූමිය තුළ තවත් අළුත් උදා ගම්මාන 5,000 ක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ඉන් පසුව රටේ තවත් උදා ගම්මාන 10,000 ක් ඉදි කිරීමේ වැඩසටහනත් අප ක්‍රියාත්මක කරනවා. ඉන් පසුව තව අළුත් ගම්මාන 2,500 ක් ඉදිකිරීම අප ආරම්භ කරනවා.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ද්විත්ව නායකත්වය සහ ශක්තිය යටතේ යහපාලන රජය ඓතිහාසික නිවාස සංවර්ධනයක් හරහා වසර 2025 වනවිට මෙරට සැමට සෙවණ ලබා දීමට ඇප කැප වී කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි.

රටක් ලෙස අද අපට නිවාස සංවර්ධන ක්ෂේත්‍රය තුළ විශාල අභියෝග රැසක් තිබෙනවා. මෙරට ජීවත් වන පවුල් ලක්ෂ 60 න් පවුල් ලක්ෂ 25 කටම නිවාස ගැටළු තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 41 % ක්. පසුගිය කාලයේ රට පාලනය කළ ඇත්තෝ මේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් නොදුන්නේ ඇයි ? එදා විරු ගම්මාන හදනවා කියා පාලකයෝ රටේ අසරණ ජනතාවට නිවාස සාදා ගැනීමට බැංකුවලින් ගිනි පොළියට ණය ලබා දුන්නා. එහි පොළිය 15 % ක්. නමුත් අප සිදු කරන්නේ කුමක්ද? අද අප නිවාස සාදා ගන්න රුපියල් ලක්ෂ 5 ක් ලබා දෙනවා. ලබන වසරේ සිට එය ලක්ෂ 6 ක් දක්වා වැඩි කරනවා. එහි පොළිය 5 % යි. මින් සැබෑ දේශප්‍රේමය කුමක්ද කියා ඔබම තීරණය කරන්න.

දේශප්‍රේමීත්වය, දේශාලය, දේශාභිමානය ගැන අද බොහෝ දෙනා කතා කරනවා. සැබෑ දේශප්‍රේමීත්වය යනු කුමක්ද ? සැබෑ දේශප්‍රේමීත්වය යනු ඉඩමක් නොමැති අසරණ ජනතාවට ඉඩම් ලබා දී, එහි නිවාස ඉදි කර ගන්නට ඔවුන්ට මූල්‍ය ශක්තිය ලබාදී ගම්මානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමයි. සැබෑ දේශප්‍රේමීත්වයඑයයි. නමුත් විරුද්ධවාදීන් හිතාගෙන ඉන්නේ දේශප්‍රේමීත්වයේ නාමයෙන් රටේලොකු ලොකු තනතුරුවල අයිතිය සින්නක්කරව එක් පවුලකට ලියා ගන්නට පුළුවන් කියායි. ඔබ මේ බොරු දේශප්‍රේමීත්වයට, දේශ්‍යාලයට රැවටෙන්නට එපා. එම නිසා ජනතාව හොඳින් සිතා බලා තීන්දු තීරණ ගත යුතුයි.

සජිත් ප්‍රේමදාසට අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යාමට වසර 2030 වන තෙක් බලා සිටීමට සිදු වනවා කියා පොහොට්ටුවේ ඇතැම් අය ප්‍රකාශ කරනවා මා දුටුවා. මා කියන්න කැමතියි, මගේ ගමනට 2030 වනතුරු ඉන්නට අවශ්‍ය නැහැ. මගේ ගමන දැන් මා පටන්ගෙනයි තිබෙන්නේ. එය අවසන් වන්නේ 2025 දීයි. වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදිකර රටේ සැමට සෙවණ ලබාදීම මගේ අරමුණයි. මා සිතන්නේ අසරණ මිනිසුන්ට නිවාස සාදා දීම ගැන පමණයි.

නමුත් විරුද්ධවාදීන් සිතන්නේ බලය ගැන පමණයි. ඔවුන්ට අවශ්‍ය අරලියගහ මන්දිරය හා ජනපති මන්දිරයට යාමට පමණයි. පොහොට්ටුවේ හාදයින් මෙන් මා හට බලයට කෑදරකමක් නැහැ. පොහොට්ටුව ඇතුළේ දැන් හොඳ හොඳ සෙල්ලම් සිදු වනවා. 2020 දී මොකටද සැරසෙන්නේ කියා පොහොට්ටුවේ බුද්ධිමත් පිරිසකට දැන් තේරී තිබෙනවා. 2020 දීත් රටේ අයිතිය, භූමියේ අයිතිය, රාජ්‍යත්වයේ අයිතිය මෙන්ම ජනපතිකම හා අගමැතිකම එක් පවුලකට ලබා ගන්නට සුදානම් වන බව අද ඔවුන්ට තේරී තිබෙනවා.

අද ඔවුන් එළිපිට ප්‍රශ්න කරනවා. ජනාධිපති, අගමැති වෙන්නට පුළුවන් රාජපක්ෂලට පමණද කියා ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක් වන කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමාත් දැන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එක් පවුලකට පමණක් රටේ අයිතිය සින්නක්කරව ලබා දුන්නා නම් දිවංගත රණසිංහ ප්‍රේමදාස මාගේ පියාණන්ට නාගරික මන්ත්‍රීකමේ සිට ජනාධිපතිකම දක්වා එන්නට පුළුවන්ද? හැකියාව, දක්ෂතාවය, කැපවීම, කඩිසරකම හා අධිෂ්ඨානය තිබෙනවා නම් ගමේ සිටින අසරණ දූ දරුවන්ටත් මන්ත්‍රී, අගමැති, ජනාධිපති වන්නට පුළුවන්. ඒ අයටත් සිහින මවන්නට පුළුවන්. නමුත් කවමදාකවත් පොහොට්ටුවේ යුගයක් තුළ එය ඉටු කර ගන්නට බැහැ. පොහොට්ටුවේ කුමාර වෙල්ගම වැනි නායකයින් අද එළිපිට ඒ ගැන ප්‍රශ්න කරන්නේ මේ නිසා තමයි. රටේ නායකත්වය ලබා දීම පුද්ගලයෙකුගේ වාසගමින් තීරණය කරන්නට හොඳ නැහැ.

මගේ පියා හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැති. මගේ පියා ජනාධිපති හා අගමැති වූ පමණින් මට රටේ නායකත්වයට උරුමයක් නැහැ. මා එයට සුදුසු නම්, මට හැකියාව තිබේ නම්, පොඩි මිනිසා වෙනුවෙන් මහන්සි වෙනවා නම්, එවිට එය ජනතාවට තීන්දු කරන්නට පුළුවන්. දේශපාලනය තුළ අප ගෙදර යැවීම හෝ දිනවීම තීරණය කිරීම රටේ ජනතාව සතුයි. එය තීරණය කිරීමේදී සොයා බලන්න ඕනෑ හැකියාව, දක්ෂතාවය මිසක්, පවුල් පසුබිම හෝ මවගේ පියාගේ නාමය, වාසගම නොවෙයි. ප්‍රධාන තැන ලබා දිය යුත්තේ හැකියාව, දක්ෂතාවය හා කැපවීමටයි.

රටේ නායකත්වය තීරණය කළ යුතු මිනුම් දඩු මේවායි. රටේ රාජ්‍ය බලය එක පවුල් පරපුරකට පමණක් හිමි වී තිබුණානම් අද මෛත්‍රීපාල සිරිසේන නැමැති ගොවි පවුලක උපත ලැබූ කෙනෙකුට රටේ විධායක ජනාධිපති වන්නට බැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට පොඩිම තැන සිට රටේ ඉහළම තැනට යන්නට ශක්තිය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ජනතාව ඉදිරි තීන්දු තීරණ ගත යුත්තේ හොඳින් සිතා බලායි. පොඩි මිනිසා වෙනුවෙන් රටේ උදා ගම්මාන 20,000 ක් ඉදිකිරීම හොඳද ? නරකද ? හොඳ නම් අපට ඡන්දය දෙන්න පුළුවන්. නැතිනම් අපිව ගෙදර යවන්ට පුළුවන්. දිවංගත මගේ පියාණන් සිහිවීම පිණිස දිවයිනේ චෛත්‍ය නොමැති විහාරස්ථාන 25 ක චෛත්‍ය 25 ක් ඉදිකර ලබන ජුනි 23 වනදා වන විට සසුනට පූජා කරනවා. ඉන් පසුව තවත් වසරක් තුළ චෛත්‍ය නොමැති විහාරස්ථානවල චෛත්‍ය 100 ක් ඉදිකර පූජා කරනවා. ඉන් පසුව 2020 ජුනි මාසයෙන් පසුව චෛත්‍ය 1,000 ක් ඉදිකිරීම ආරම්භ කරනවා. සැබෑ බෞද්ධකම මෙයයි. මෙයද හොඳද නරකද කියා තීරණය කිරීමත් රටේ ජනතාවසතුයි. ඔබ ගන්නා සෑම තීරණයක්ම රට වෙනුවෙන් බුද්ධිමත්ව සිතා තීරණය කරන්නැයි මා ඉල්ලා සිටිනවා.

අද ජනතා අයිතියට පත්වන ‘බිසෝවැඩිගම’ උදා ගම්මානය නිවාස 23 කින් සමන්විතයි. මෙම උදා ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 243 ක්. නිවාස නොමැති ප්‍රතිලාභීන් 23 දෙනෙකුට අප මෙහි නොමිලේ ඉඩම් ලබා දුන්නා. එම නිවාසලාභීන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා සුළු පොළී ණය මුදල් ලබා දුන්නා. එයට ඔවුන් තමන්ගේ මුදල්ද එක් කර අද ඉතා වටිනා අලංකාර නිවාස ඉදිකරගෙන තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මාන ද්විත්වය සමන්විතයි.

මෙම උදා ගම්මානය ජනතා අයිතියට පත්වන අද දින තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන රැසක් ලබා දෙනවා. මෙතෙක් නිවසක් නොමැතිව සිටි පවුල් 23 කට අද නිවාස අයිතිය හිමි වනවා පමණක් නොව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 කට රුපියල් ලක්ෂ 80 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’ ලබා දෙනවා. ප්‍රතිලාභීන් 60 කට රුපියල් ලක්ෂ 120 ක් වටිනා ‘‘සොදුරු පියස නිවාස ණය’’ ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 25 ක් වටිනා නිවාස ණය සහ ආධාර ලබා දෙනවා. වකුගඩු රෝගීන් 35 දෙනෙකුට රුපියල් ලක්ෂ 70 ක් වටිනා නිවාස ආධාර ලබා දෙනවා. ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ පුහුණුලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල ලබා දෙනවා. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 112 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. ‘බිසෝවැඩිගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − thirteen =