තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ අභිමානවත්ව ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගෙලෝරා බන්ග් ක්‍රීඩා සංකීර්ණයේදී අති උත්කර්ශවත්ව හා ගාම්භීර ලෙස ඉකුත් 06වනදා ආරම්භ විය.

පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩාංගණයවූ මෙය ඉතා අලාංකාර නිමාවකින් යුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්වන අතර සමාරම්භක උළෙලේදී ආසියානු ප්‍රජාව ස්වභාවික පරිසරය තුළ සහජීවනයෙන් හා සමතුලිතව ජීවත්විය යුත්තේ කෙසේද යන්න නිරූපනය කෙරුණි.

විවිධ හේතුමත අත් – පා අහිමි එහෙත් ජීවිතයට ධෛර්යය එක්කළ උත්සහාවන්ත මිනිසුන්ගේ ආසියා ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන මේ ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉතා අර්ථවත් ලෙස පවත්වන බව සංවිධායකයෝ පවසති.

මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධාන කිරීමෙන් ආබාධිත ප්‍රජාවට සමාජය තුළ නැවැත නැගිටීමට ආදර්ශයක් ලබාදිය හැකි බව ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධයකයන්ගේ බලවත් විශ්වාසයකි. ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වුවද, මේ ක්‍රීඩා උළෙලේදී සියලු දෑ ඉතා උසස් ලෙස සම්පාදනය කොට ඔවුන් දිරිගන්වන බව ආසියානු පැරා ක්‍රීඩා උළෙල සංවිධායකයෝ පවසා සිටියහ.

පෙරේදා පැවැති සමාරම්භක උළෙලේදී උතුර කොරියානු හා දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව ගමන් කළහ. ඉතිහාසයේ බොහෝ කලක් විරසකව පැවැති උතුරු – දකුණු කොරියානුවෝ මෙලෙස ක්‍රීඩාව හරහා ලොවට සමගි සම්පන්න බව විදහා දැක්වීම සමාරම්භක උළෙලේ කාගේත් අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් විය. අදාළ රටවල් දෙකේ නිලධාරීහූ ද ඉතා සිනහ මුසු මුහුණින් සමාරම්භක පෙළපාලියේ ගමන් කළහ.

රටවල් 43කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2831ක් සහභාගීවන මේ ක්‍රීඩා උළෙල මේ මස 13වැනිදා නිමාවට පත්වන අතර ක්‍රීඩා 18ක් යටතේ තරග ඉසව් 568ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්ව සිටිති. අද දින සිට දිනයේ තරග ඉසව් ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මලල ක්‍රීඩා ඉසව් සඳහා අද තරග බිමට පිවිසෙති.

ටී. 45/47 කාන්තා දුර පැනීම අවසන් තරගය, එෆ්. 42- 44/ 61- 64 පිරිමි හෙල්ල විසි කිරීම අවසන් තරගය, ටී. 45/46/47 කාණ්ඩය යටතේ පිරිමි මීටර් 200 මූලික වටයේ තරග, ටී. 42/ 63 කාණ්ඩය යටතේ පිරිමි මීටර් 200 අවසන් තරගය හා ටී. 45/46/47 කාණ්ඩය යටතේ කාන්තා මීටර් 200 මූලික වටයේ තරගවලට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් දුනු විදීම, මලල ක්‍රීඩා, දෘශ්‍යාබාධිත චෙස්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, පිහිනුම්, වෙඩි තැබීම, සවි එසවීම හා රෝද පුටු ටෙනිස් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජකර්තා නුවරට පැමිණ සිටිති. ඔවුන් ජකාර්තා නුවර විශේෂ ක්‍රීඩා ගම්මනයේ රැදී සිටින අතර, ශ්‍රී ලංකා පිලේ නායකත්වය දිනේෂ් ප්‍රියන්තට භාරවී තිබේ. ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් 2016 වසරේ බ්‍රසීලයේ පැරාලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන් ක්‍රීඩකයෙකි. එමෙන්ම ජාත්‍යන්තර පදක්කම් රැසක් ඔහුගේ නාමය ඉදිරියේ සටහන්ව ඇත.

අවසන් වරට දකුණු කොරියාවේ ඉන්චියොන් හීදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පදක්කම් 14ක් හිමිකර 19 වන ස්ථානයට පත්විය. මෙවර ද ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගෞරවය රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපේක්ෂාවෙන් පසුවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − one =