ඉන්ධන මිල වැඩිවුණොත් රජයෙන් කොටසක් දරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල සීමාවකින් තොරව ඉහළ ගියහොත් මිල සූත්‍රය පසෙක දමා සංවේදී ආණ්ඩුවක් ලෙස ජනතාවගෙන් වැයවන මුදලින් කොටසක් දැරීමට (වැයබර) රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.

වැඩිවන ඉන්ධන මිලෙන් කොටසක් රජය දරන බවත්, කිසිසේත් වැය බර ජනතාව මත නොපටවන බව පැවසූ ඇමැතිවරයා ලෝක වෙළෙඳපළ ඉන්ධන මිල අඩුවීම මත එම වාසිය ජනතාවට ලබාදෙන බව කීවේය.

2015 දී යහපාලන රජයට බාරගන්නට සිදුවූයේ කඩා වැටී විනාශ වූ අර්බුදයට ලක්වූ ආර්ථිකයක් බව පෙන්වාදුන් මුදල් ඇමැතිවරයා 2014 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.1 දක්වා අඩුව තිබූ බවද සඳහන් කළේය. පාඩු ලබන මහ බැංකුවක් පසුගිය රජය විසින් රටට උරුමකර ගියද රටේ ආර්ථික සංවර්ධනය ළඟාකරදීමට වත්මන් රජයට හැකිවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

1990 වසරේ සියයට 21 තිබූ රාජ්‍ය ආදයම 2014 දී සියයට 11 දක්වා අඩුව තිබූ බවද ආදායමේ වැඩිවීම 2006 සිට 2014 දක්වා සියයට 25.8 සිට සියයට 5.1 දක්වා කඩාවැටුණු බවද පැවසීය.

පසුගිය පාලන සමයේ රජයේ වියදම ආදායමට වඩා ඉහළ ගොස් තිබූ බව පෙන්වා දුන් සමරවීර මහතා 2014 දී ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 601 දක්වා වැඩිවී තිබූ බව පැවසීය.

මුදල් ඇමැතිවරයා මෙසේද පැවසීය.

අපිට විශාල ණය කන්දක් ගෙවන්න තියෙනවා. 2014 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 113 යි. ණය රුපියල් බිලියන 1144 යි.

පුනරාවර්තන වියදම් ඉහළ ගියා. විශ්‍රාම වැටුප් හය ගුණයකින් වැඩිවුණා. ප්‍රාග්ධන ආයෝජන අඩාළ වී රාජ්‍ය ණය ඉහළ ගියා. අද බන්දුල මන්ත්‍රීතුමා රට නොමඟ යවනවා. 2500කින් ජීවත්වෙන් පුළුවන් කියපු අය 2012 රුපියල අවප්‍රමාණය වීමේදී මොකද කළේ. 2012 දී රුපියල සියයට 15කින් අවප්‍රමාණය වුණා. රටේ විදේශ සංචිත රුපියල් බිලියන 4.1ක් එළියට දැම්මත් රුපියල අවප්‍රමාණය පාලනය කරන්න බැරි වුණා.

අද ඩොලරය රුපියල් 170.69 යි. එහෙත් රුපියල අවප්‍රමාණය වී ඇත්තේ සියයට 10කින් පමණයි.

අපි රුපියල රැකගන්න වියදම් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 250ක් පමණයි. ඊට අමතරව ආර්ථිකය නංවන්න තීරණ අරගෙන තියෙනවා.

අපේ රජය විදේශ සංචිත භාවිතා කරලා රට ආර්ථික අර්බුදයකට දාන්න සූදානම් නෑ. අපට මේ වසරේ රුපියල් ට්‍රිලියන 1.9ක බිලියන 1900ක ණය ගෙවන්න තිබෙනවා. මේ ණයවලින් සියයට 83ක් රාජපක්ෂ සමයේ ණය.

හිටපු මහ බැංකු අධිපති අපිට බාරදීල ගියේ අලාභ ලබන මහ බැංකුවක්. 2014 දී අලාභය මිලියන 32900 යි. හිටපු මහබැංකු අධිපති රූපවාහිනී සාකච්ඡා කළත් අපි තමයි රටේ ආර්ථිකය නිවැරදි මගට ගත්තේ.

අපි දැනට රට තුළ සංවර්ධන ව්‍යාපෘති 39669ක් නිමකරලා තිබෙනවා. ගමකට රුපියල් මිලියන 20ක් ආයෝජනය කර තිබෙනවා. අපනයන ආර්ථිකයක් තුළින් රට ගොඩ නගන්න ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රටේ ආර්ථිකය කිසිසේත් කඩා වැටෙන්න දෙන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 4 =