ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු සාගරය ආශි‍්‍රත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් “ඉන්දියානු සාගරය – අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සමුළුව අද සහ හෙට කොළඹ දී පැවැත්වෙයි. ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට ඝෘජු බලපෑමක් එල්ල කරමින්, ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් තුනෙන් එකක් යාත‍්‍රා කරන අතිශය වැදගත් සන්නිවේදන මුහුදු මාර්ග පිහිටා තිබෙන ඉන්දියානු සාගරය ලොව වඩාත් කාර්යබහුලම හා තීරණාත්මකම වෙළෙඳ මාර්ගවලින් එකක් බවට පත්වී ඇත.

ඉන්දියානු සාගරය ආශි‍්‍රත රාජ්‍යයන් හා ඉන් ඔබ්බෙහි පිහිටි රාජ්‍යයන් නියෝජනය කරන සම්භාවනීය නියෝජිතයන්ගේ හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දී කලාපය හමුවේ ඇති ප‍්‍රබලතම අභියෝග හා අවස්ථා ගවේෂණය කරනු ඇත.

ඉන්දියානු සාගරයෙහි ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හා ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ සාමකාමීව කටයුතු කිරීම පිළිබඳව ගෙන යන වැඩපිළිවෙළේ දී මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අතිශයින් වැදගත්වන අතර ශ‍්‍රී ලංකාව කලාපීය වෙළෙඳ සේවා හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ ප‍්‍රතිපත්තිය මෙම සමුළුවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සමඟ විද්වතුන් සහභාගී වන මෙම සමුළුව අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානය, එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ මර්ධන වැඩසටහන හා එක්ව සංවිධානය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමුළුව අමතා විශේෂ දේශනයක් සිදු කළේ ය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ දෙස් විදෙස් විද්වත් ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *