මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට ඇප

(කොළඹ, ලංකාපුවත්) – යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට ඊයේ(10) ඇප නියම කළේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී ය.

මේ සිද්ධියේ අට වන සැකකරු වන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය මේ සිද්ධියේ පරීක්ෂණවල ප්‍රගතිය සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විත්තිය මගින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සැකකරුට දැඩි කොන්දේසි මත ඇප නියම කරනු ලැබීය. ඒ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තුනක් මතයි. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කරන ලදි.

මෙම නඩුව නැවත මේ මස 25 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − thirteen =