ගෝලීය අර්බුදයට මුහුණ දී ජනතාවට සහන දෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –කවර මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද ලෝක තෙල් අර්බුදයක් පවතින හෙයින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කළ නොහැකි වූවද වැඩිවන ඉන්ධන මිල හමුවේ කිසියම් සහනයක් ජනතාවට ලබාදිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

මිල සූත්‍රයට වඩා ලෝක තෙල් අර්බුදය රටවල්වලට බලපෑම් කරන බැවින් ඊට මුහුණ දීමට කටයුතු කළ යුතු බවත් ඇමරිකාවේ හා චීනය තීරු බදු යුද්ධය, ඉන්දියාව හා චීනයේ ඉන්ධන ඉල්ලීම් නිසා ලෝක තෙල් මිලෙහි ඉදිරිය පැහැදිලි නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී උදාවන ශීත කාලයේදී ඉන්ධන ඉල්ලීම් ඉහළ යන බැවින් බොරතෙල් බැරලයක මිල ඩොලර් අසූවෙහි පවතින බවත් එය අනූව දක්වා යන්නේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය අනුව මිල වැඩිවීමේදී මෙරට තෙල් මිල යම් ප්‍රමාණයකට ඉහළ ගියත් අඩුවන විට අත්වන සහනය ජනතාවට ලබාදීමට සූදානම් බවද අගමැතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සෑම රටක්ම තෙල්වලින් බදු අයකරන බව පැවසූ අගමැතිවරයා ජනතාවට සහන ලබාදිය යුතු බවට ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

මිල සූත්‍රය මෙරට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ පවා ක්‍රියාත්මක බව පැවසූ අගමැතිවරයා එරට තෙල් මිල දිනපතා වෙනස්වන බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *