ආපදාවට පත් ජනතාවට සහන දෙන්න මිලියන 15.5ක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දින වල ඇති වූ තද සුළං , ගංවතුර සහ පස් කඳු කඩා වැටීම් වැනි හදිසි ආපදා තත්ත්වයන් නිසා කළුතර , ගාල්ල , කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ජනතාවට කඩිනම් සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 15.5ක මුදලක් ලබා දී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්ක 16ක ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ නිවාස සඳහා ලබා දෙන රුපියල් 10,000 ක අත්තිකාරම් මුදල ලබා දීම සඳහා රුපියල් මිලියන 23.01 ක මුදලක් අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිට ලබා දී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කළේය.

පැවති කාලගුණ තත්ත්වය තරමක් යහපත් අතට හැරීම හේතුවෙන් ආරක්ෂිත කඳවුරු සංඛ්‍යාව 14 දක්වා අඩු වී ඇති බවද පැවසූ ඒ මහතා මේ වන විට එම ආරක්ෂීත කඳවුරු වල පවුල් 1859 කට අයිති පුද්ගලයින් 8234ක් මේ වනවිට සිටින බවද පැවසී ය.

වයඹ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති චන්ඩ සුළි කුණාටුව (TITLI) ඊයේ(11) උදෑසන උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් ඉන්දියාවට ඇතුළු වූ අතර එය ඒ වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 1200 ක පමණ දුරින් ස්ථානගතව තිබිණී. එය තවදුරටත් දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන්කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. අදාළ මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළීබඳව ඉතා විමසිලිමත් විය යුතු බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රෙද්ශයේ පවතින චන්ඩ සුළි කුණාටුව (LUBAN) ඊයේ වනවිට කොළඹ සිට කිලෝමීටර් 2600 ක පමණ දුරින් පැවැතිණි.

අද දිනයේ (12) දකුණු පළාතේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *