නිවාස 1200ක් හදන්න ඉන්දියාව සමඟ ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සහ උතුරු පළාතේ නිවාස හයසියය බැගින් නිවාස 1200ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් ලබාදීමේ ගිවිසුම් පෙරේදා(13) අත්සන් කෙරිණ.

මෙම ගිවිසුම් අත්සන් කළේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ආදර්ශ ගම්මාන වැඩ සටහන යටතේ ඉදිවූ 138වැනි ආදර්ශ ගම්මානය හම්බන්තොට ගොන්නොරුව සත්සුරුගම විවෘත කිරීමේ අවස්ථාවේදීය. මෙම ගම්මානය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සුවිශේෂී සහභාගිත්වයෙන් පෙරේදා(13) ජනතා අයිතියට පැවරිණ.

ඉන්දියාව විදේශ රටකට ලබාදී ඇති වැඩිම ප්‍රදානය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් බවත් මේ වන විට ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සමඟ නව ආදර්ශ ගම්මාන සියයක නිවාස 2400ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව දායකත්වය ලබාදී තිබෙන බවත් මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා-

මෙම අවස්ථාවට සහභාගි වීමට මට අවස්ථාව ලබාදීම පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිවන්ත වෙනවා. මාගේ විශ්වාසය අනුව සංවර්ධන සහයෝගිතාව යනු දත්ත හෝ ඉලක්කම් නොවේ. එනමුත් ඒ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත කීපයක් ලබාදීමට මා කැමැතියි. එහි ඉලක්කම් අප දෙරට අතර ගැඹුරින් මුල් බැසගෙන තිබෙන මිත්‍රත්වයේ කතාව අපට සිහිපත් කර දෙනවා. ශ්‍රී ලංකාව තුළ නිවාස 63000ක් පමණ ඉදිකිරීම සඳහා අප කැපවී සිටිනවා. ඒවා ඉදිවන්නේ පූර්ණ ප්‍රදානයන් යටතේයි. ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රය සඳහා ඉන්දියන් රජය ලබාදෙන මුල්‍ය ප්‍රදානයන්ගේ අගය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වෙනවා. අපට ශ්‍රී ලංකාව සැමවිටම සුවිශේෂ වුවා සේ ඉදිරියටත් එසේම වනු ඇත.

පසුගිය වසරේදී 44වන ආදර්ශ ගම්මානය ‘ සන්තොසගම‘ විවෘත කිරීමේ උත්සවයේ දී ඉන්දියන් ආධාර යටතේ නිවාස 1200ක් ඉදිකිරීම සඳහා අප අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. එම නිවාස 1200න් දකුණු පළාතේ ඉදිවන නිවාස 600හි ඉදිකිරීම් සතුටුදායක අයුරින් සිදුවනවා. ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ සෑම දිස්ත්‍රික්කයකම ඉදිවන ඉතිරි නිවාස හයසියයෙහි කටයුතුද අවසාන අධියරේ පවතිනවා.

අනුරාධපුරයේ පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි ගම්මානයේ නිවාස 150කට වැඩි ගණනක් ඉදිකරනවා. 1980 දසකයේදී ගම්උදාව වැඩ සටහන ආරම්භ කළේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාද මා දීර්ඝ කාලයක සිට දන්නවා. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශිෂ්ට නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට උත්සාහ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *