අංග සම්පුර්ණ තාක්ෂණික කෞතුකාගාරයේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නගරයේ ඉදිකෙරෙන තාක්ෂණික කෞතුකාගාරයේ ඉදිකිරීම් ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

වසර එකසිය පනහකට පසු මෙරට ඉදිකෙරෙන අංග සම්පූර්ණ තාක්ෂණික කෞතුකාගාරය මෙයයි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා වන සාම්ප‍්‍රදායික තාක්ෂණික ක‍්‍රමවේදයන් හා රාජ්‍ය පාලනයේ වැදගත් සන්ධිස්ථාන ඇතුළත් මැදිරිවලින් මෙම තාක්ෂණික කෞතුකාගාරය සමන්විත අතර නවීන ශ‍්‍රවණාගාරයක් මෙන්ම අධි තාක්ෂණික නැරඹුම් මැදිරිවලින් ද සමන්විත ය.

අපගේ අතීත සම්ප‍්‍රදායන් සහ උරුමයන් පිළිබඳ දෙස් විදෙස් සංචාරකයින්ට සහ පාසල් සිසුන්ට අවබෝධයක් ලබාගත හැකිවන අයුරින් මෙහි නිර්මාණ කටයුතු සිදු කෙරේ.

කෞතුකාගාරයේ භෞතික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති අතර කෞතුක වස්තු තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා සියලු නිර්මාණ කටයුතු හැකි ඉක්මණින් නිම කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. අනතුරුව එම ඉදිරි කටයුතු විමසා බැලීමේ සාකච්ඡුාවකට ද අදාළ නිලධාරින් සමඟ ජනාධිපතිතුමා එක් විය.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සභාපති ඞී.බී.ඒ. පියතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මීට එක්ව සිටියහ.

මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. එම ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලු ජනාධිපතිතුමා සියලු ඉදිකිරිම් කඩිනමින් නිම කිරීමට නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් වූයේ පොළොන්නරුව 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින චීන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් නිරික්ෂණය කිරීමටයි.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ජනාධිපතිතුමාට චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් අනුව දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදි කෙරේ. එහි කටයුතු කඩිනමින් නිම කර වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.

මහවැලි හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මනම්පිටිය තාක්ෂණික සේවා සමාගමේ වැලි නිකුත් කිරීමේ ක‍්‍රමවේදයේ අක‍්‍රමිකතා පවතින බවට පසුගයදා පළවූ මාධ්‍ය වාර්තා සමග එහි වැලි නිකුත් කිරීමේ කටයුතු ඇණ හිට තිබුණි.

මේ හේතුවෙන් සමාගමේ සේවකයන්ට සහ වැලි ටිපර් රථ හිමියන්ට ද දැඩි දුෂ්කරතාවයකට මුහුණදීමට සිදු විය. පළවූ එම මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සහ මෙම ක‍්‍රමවේදය ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලමින් වැලි ටිපර් රථ හිමියන් පිරිසක් ද ජනාධිපතිතුමා ගමන් කරන මඟ දෙපස රැදී සිටියහ.

පොළොන්නරුවේ වැඩසටහන්වලට සහභාගීවන අතරතුර මෙම පිරිස දුටු ජනාධිපතිතුමා ඔවුන් අතරට ගොස් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දීමට ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *