පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමේ සමාරම්භක උළෙ‍ල ලබන 29වනදා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුල ගුණාත්මක නාට්‍ය හා රංගකලා සංස්කෘතියක් බිහිකිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් දිවයිනේ පාසල් පද්ධතිය තුල නාට්‍ය හා රංගකලාව හදාරන පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය, දැනුම හා රසවිනදනය දියුණු කරමින්, උසස් නාට්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් ටවර් හෝල් රඟහල පදනම මගින් සංවිධානය කරන ‘‘පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමේ සමාරම්භක උළෙල“ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29වනදා මීගමුව රුක්මණී දේවි රංග ශාලාවේ දී පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

රටේ සංවර්ධනයට මෙන් ම මානව වර්ගයාගේ යහපත උදෙසා, 6 වැනි ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා නාට්‍ය හා රංගකලාව හදාරන සිංහල හා දෙමළ මාධ්‍ය දරු දැරියන් දෙලක්ෂ අටදහසකට අධික සංඛ්‍යාවක් නිර්මාණකරණයේ යෙදවීම ඉලක්ක කරමින්,නාට්‍ය රසවින්දන හා ප්‍රායෝගික නාට්‍යකරණ වැඩසටහන් පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරනු ඇත.

මෙහි පළමු අදියර ලෙස මීගමුව ප්‍රදේශයේ පාසල් දරු දැරියන් ඉලක්ක කර පවත්වනු ලබන සමාරම්භක උළෙලේ දී ‘‘නාට්‍ය රස වින්දනය හා දේශීය නාට්‍ය කලාවේ ගමන් මග“ මැයෙන් විශේෂ දේශනයක් ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, “නාට්‍ය රසවින්දනය හා සංගීතය“ මැයෙන් දේශනයක් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ‘‘මනමේ‘‘ නාට්‍යයෙහි මනමේ කුමරියගේ චරිතයට පණපොවන ප්‍රවීණ නාට්‍යවේදිනී, දර්ශනපති තරංගා කරුණානායක මහත්මිය විසින් රංගකලාව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක් ද මෙහි දී පැවැත්වීමට නියමිත බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමෙන් අනතුරුව, ඒ සියලු නාට්‍ය සමාජ ටවර් හෝල් රඟහල පදනම යටතේ ලියාපදිංචි කරනු ලැබේ. පාසල් නාට්‍ය තරග වලින් දිස්ත්‍රීක් හා සමස්ත ලංකා ජයග්‍රහණ ලබන පාසල් දරු දැරියන් කුසලතා වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළු, විදේශ පුහුණුවීම්, ශිෂ්‍යත්ව ලබාදීම, දේශන, සම්මන්ත්‍රණ හා ප්‍රායෝගික වැඩසටහන් මෙන්ම, අ:පො:ස (සාමාන්‍ය පෙළ) හා (උසස් පෙළ) නාට්‍ය හා රංගකලා හදාරන සිසුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද පාසල් නාට්‍ය සමාජ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

මෙම වැඩසටහනට ඇතුළත් වීම සඳහා නාට්‍ය හා රංගකලා විෂයභාර ආචාර්යවරුන් විසින් තම පාසලේ විදුහල්පති මගින් අධ්‍යක්ෂ ජනරාල්, ටවර් හෝල් රඟහල පදනම, 123, සව්සිරිපාය, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයෙන් හෝ [email protected]ඊ-මේල් ලිපිනයෙන් තොරතුරු විමසිය හැකි බව ද ටවර් හෝල් රඟහල පදනම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *