මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන සෙවීමේ මෙහෙයුම් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද(22) ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ BGP Pioneer නෞකාව මඟිනි. පසුගිය මාර්තු 30 වැනිදා සිට මේ දක්වා එම නෞකාව ලංකා ද්‍රෝණියේ JS – 05 සහ JS – 06 යන කලාපවල දත්ත ගවේෂණය කිරීම සිදු කෙරිණි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම ගවේෂණය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව BGP Pioneer නෞකාව මන්නාරම් ද්‍රෝනිය වෙත අද ළඟා වූ බවයි. අද සිට ඉදිරි සති තුනක කාලය තුළදී මන්නාරම් ද්‍රෝනීයේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි ඇත්දැයි ද්විමාන භූකම්පන දත්ත රැස් කිරීම සිදු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඒ අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

ශ්‍රී ලංකා සාගරයේ ස්වාභාවික වායු සහ ඉන්ධන සම්පත සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනුයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසිනි. එම ලේකම් කාර්යාලය මේ වන විට ඛනිජ සම්පත ඇතැයි හඳුනා ගත් ද්‍රෝණි තුනක් වේ. ඒ මන්නාරම් ද්‍රෝණිය, කාවේරි ද්‍රෝණිය සහ සහ ලංකා ද්‍රෝණිය වේ. මෙයින් මන්නාරම් ද්‍රෝණිය M – 01 සිට M – 10 දක්වාත් කාවේරී ද්‍රෝණිය C – 1 සිට C – 5 දක්වාත් ලංකා‍ ද්‍රෝණිය JS – 01 සිට JS – 06 දක්වාත් නැවත කලා‍ප (Block ) ලෙස වෙන් කෙරේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම කලාපවල දත්ත ගවේෂණය අඛණ්ඩව ඉදිරියටත් සිදු කෙරෙන බවයි.

“මීට පෙර 2016 වසරේදී ශ්‍රී ලංකා මුහුදේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි පිළිබඳ දත්ත ගවේෂණය සඳහා ශ්‍රී ලංකා රජය ටොටාල් (Total) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණා. නමුත් ඊට අදාල සේවා සපයන සමාගමක් නොමැති වීමෙන් දත්ත ගවේෂණයට අපහසුතාවක් ඇතිව තිබුණා. ඒ අනුව අපි පසුගිය මැයි මාසේ තිස් වැනිදා SCHLUMBERGER සමාගමත් සමඟ බහුවිධසේවා ගිවිසුමක් අත්සන් කර එම දත්ත ගවේෂණය වේගවත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ලංකා ද්‍රෝණියේ JS – 05 සහ JS – 06 යන කලාපවල දත්ත ගවේෂණය කිරීමට හැකි වුණේ. ඊට සමගාමීව ඊට යාබදව පිහිටා තිබෙන කාවේරි ද්‍රෝණියේත් දත්ත රැස්කිරීම අපට හැකි වුණා. ඇත්තටම කාවේරි ද්‍රෝණියේ දත්ත රැස්කිරීම සිදු කෙරුණේ වසර 35කට පසුව. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙසට අද අපි මන්නාරම් ද්‍රෝණියේ දත්ත රැස් කිරීම ආරම්භ කළා. මෙහිදී විශේෂයෙන්ම කිවයුතු කරුණක් තියෙනවා. මේ දත්ත ගවේෂණයට ශ්‍රී ලංකා රජය කිසිම මුදලක් වැය කරන්නේ නැහැ. ඒ සඳහා මුදල් වැය කරන්නේ SCHLUMBERGER සමාගම විසින්. ඒ වගේම මේ දත්තවල සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වනවා. දත්ත විකිණීමෙන් ලබා ගන්නා මුදලින් SCHLUMBERGER සමාගමේ මෙහෙයුම් පිරිවැය ආවරණය කිරීමටත් ශ්‍රී ලංකා රජයට ලාභයක් ලබා ගැනීමටත් හැකි වෙනවා. මෙම දත්ත ලබා ගැනීම සහ එම දත්ත විශ්ලේෂණය කිරීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුව ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි තිබෙන තැන් හඳුනා ගෙන එහි කැනීම් කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලසුම් සකස් කිරීමට අපි බලාපොරොත්තුවනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා ඇතුළු නිලධාරීහු රැසක්ද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *