සේනානායක ගුණ සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – සැබෑ දේශපේ‍්‍රමය, අපේකම සහ දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රේෂ්ඨ චරිත හේතුවෙන් එදා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රබල සහ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණු බව සඳහන් කළ ජනාධිපතිතුමා හෙට දවසේ ද රටේ අනාගතය වෙනුවෙන් එම දේශපාලන දර්ශනය පක්ෂයේ අරමුණු අතර තිබිය යුතු බව සඳහන් කළේ ය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ නිදහස් ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු සේනානායකවරුන්ගේ ගුණ සමරමින් ඊයේ(22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවති ගුණ සැමරුම් උත්සවය අමතමිනි.

නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිවුවරක් මෙරට අග‍්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක චරිත අනුස්මරණය කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් මෙම ගුණ සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

එහි ඩී.එස්. සේනානායක මැතිතුමා පිළිබඳ ගුණ සමරු දේශනය සිදු කරමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපේ‍්‍රමය, යුක්තිය සහ සාධාරණය, අවංකකම එදා එක්සත් ජාතික පක්ෂ නියමුවන් වූ ඩී.එස්, ඩඩ්ලි චරිතවල තිබූ කැපී පෙනෙන ලක්ෂණ වූ බවයි. දුෂණයට, වංචාවට සහ හොරකමට එම චරිතවල කිසිදු ඉඩක් නොතිබූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේ ය.

මෙරට ගොවි ජනපද ව්‍යාපාරය තුළින් ඩී.එස්. සේනානායක මැතිතුමා රටේ ආර්ථිකයටත්, සංවර්ධනයටත් ඉටුකළ මෙහෙය මෙහි දී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේ ය.

සේනානායකවරුන් සිවු දෙනාගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සහ ගාමිණි තිලකසිරි, ලලිත් වනිගරත්න, රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුළු පළාත් අමාත්‍යවරන් විසින් ගුණ සමරු උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිගනු ලැබී ය.

කතානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, ඉම්තියාස් බාකීර් මාකර්, රුක්මන් සේනානායක යන මහත්වරුන් සහ සේනානායක පවුලේ ඥාතීන් මෙම ගුණ සමරු උත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *