ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

“සිව්වන කාර්මික විප්ලවය හා සෞඛ්‍ය ආවරණය” යන තේමාව යටතේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුවට ඊයේ (24) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්විනි.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය ඒකාබද්ධවයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ දැක්ම වන්නේ කොළඹ නගරය ඉන්දියන් සාගරයේ සෞඛ්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. එය සම්පුර්ණ කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඒ සදහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. පහලොස්වන ශතවර්ෂය දක්වා ආසියාව ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වුනා.

17 වන ශතවර්ෂය ආරම්භයේ දී කාර්මික විප්ලවයත් සමග එය බටහිර රටවල් දක්වා ගමන් කළා. සමාජ වෙනස් වුනා. නව ආයතන බිහි වුනා. සමාජවාදය බිහි වුනා. මමත් තරුණ අවධියේ දී සමාජවාදයට නැඹුරු වුනා. 04 වන කාර්මික විප්ලවය ඩිජිටල්, භෞතික සහ ජෛව විද්‍යාත්මක ලෝකය නියෝජනය කරනවා.

එය 03 වන කාර්මික විප්ලවයේ දිගුවක්. තාක්ෂණය භාවිත කරනවා. දත්ත විශ්ලේෂණය කරනවා. දැනට පවතින තාක්ෂණය යොදා ගනිමින් විධිමත් සෞඛ්‍ය සේවාවාවක් නිර්මාණය කරනවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම වැඩබාර ගැනීමේ දී ඖෂධ වර්ග 44 – 75 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. සියයට 10 ක නාස්තියකුත් තිබුනා.

එම තත්ත්වය මගහරවා ගැනීම සදහා තාක්ෂණය භාවිත කරමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දුන්නා. සාර්ථකව එය ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ මාධ්‍ය මගින් ඖෂධ හිගයක් වාර්තා කරන්නේ නැහැ. එමගින් මූල්‍යමය ඉතිරියක් ද අමාත්‍යාංශය ලැබී තිබෙනවා. මූල්‍යමය ඉතිරිය තුලින් ස්ටෙන්ස්, අක්ෂි කාච රෝගීන්ට ලබාදෙනවා. තාක්ෂණය ජනතා යහපත උදෙසා යොදා ගත් එක් අවස්ථාවක් ලෙස එය හැදින්විය හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *