වැසි තත්ත්වය තවදුරටත් – ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද (25) දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, දැදුරු ඔයේ වාන්දොරටු 04 ක්, පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 06 ක් සහ තබ්බෝව ජලාශයේ වාන්දොරටු 02 ක් මේ වනවිට විවෘත කර තිබේ.

රාජාංගනය, අංගමුව, පොල්ගොල්ල යන ජලාශවල වාන් දොරටු 02 බැගින් විවෘත කර ඇති අතර වික්ටෝරියා ජලාශයේ ද වාන් දොරටු 02 ක් ස්වයංක්‍රීයව විවෘත වී ඇත.

කුකුලේ ගඟ ජලාශයේ එක් වාන්දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව 97 කිලෝමීටර් කණුව සහ 98 කිලෝමීටර් කණුව අතර කොටස අද පෙරවරු 09 යේ සිට වසා දැමෙනු ඇත.

මේ අතර බගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *