කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වසර කිහිපයක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් රටට වැසි ලැබෙමින් පවතින මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට ඉතා උචිත අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

අපේ රටේ වගා කළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය සීමා කර ස්වශක්තියෙන් නැඟී සිටීමේ කෘෂි ආර්ථික වැඩපිළිවෙළට අප කඩිනමින් අවතීර්ණ විය යුතුව ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

කටුපොත, පොතුවැව, ශෛලතලාරාම රජමහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව ප‍්‍රදේශයේ ජනතාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ මුහුණ දීමට සිදුව ඇති අභියෝග තේරුම් ගනිමින් රටේ ආර්ථික ගැටලු විසඳාගැනීමට සියලුදෙනා සාමූහික ප‍්‍රයත්නයකට එක්වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් දර්ශනීය විහාරස්ථානයක් වන කටුපොත, පොතුවැව, ශෛලතලාරාම රජමහා විහාරය වෙත අද (25) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව දෙමහල් ධාතු මන්දිරය විවෘත කරනු ලැබිය. ධාතුන් වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ඉන්දියාවෙන් වැඩම කරවන ලද සුදු බෝධින් වහන්සේ රෝපණය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව ජනාධිපතිතුමා ඓතිහාසික වැදගත්කමකින් යුත් කෞතුක වස්තු නරඹමින් පුදබිම පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

වයඹ පළාතේ කටුගම්පොල හත්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක කටුපොත, පොතුවැව ශ‍්‍රී ශෛලතලාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය බෝගහපිටියේ ධම්මිස්සර නායක ස්වාමින් වහන්සේ සහ අමාත්‍ය එස්.බි. නාවින්න, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, අතුල විජේසිංහ, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර තවත් සුවිශේෂී කටයුත්තකට ජනාධිපතිතුමා විහාරස්ථාන පරිශ‍්‍රයේ දී එක් වූ අතර කටුපොත ප‍්‍රදේශයේ පදිංචි මනාල යුවළ දෙකකගේ විවාහයන් සඳහා අත්සන් තැබීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

කටුපොත ප‍්‍රදේශයේ පදිංචි කුෂාන් සම්පත් සහ මාධවී හේරත් ද, නලින් හේරත් සහ දිලෝමා මධුවන්ති යන අය අද මෙලෙස යුග දිවියට එළැඹිණි.

මෙම අවස්ථාවෙන් අනතුරුව කටුපොත පහළපොතුවැව ප‍්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *