ජාතික වප්මඟුල් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් 29වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහ කන්නයේ ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 දින පෙ.ව 9.30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල් යායේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පැරැණි හෙළ සිරිතට අනුව මහ කන්නය අස්වැද්දීමේ වප්මඟුල් උත්සවයක් පවත්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවී තිබේ. ඒ අනුව වර්තමානයේ ද මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන විට රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වප්මඟුල් උත්සවයක් පැවැත්වීම අඛණ්ඩව සිදුකර ඇත.

ඒ අනුව මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් මෙවර වප් මඟුල් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙවර මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ හෙට (27) පසුව වන බැවින් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කර ගනිමින් සිදු කිරීම තුළ වාරි ජලය කළමනාකරණය කර ගැනීමේ පහසුව ලැබේ. එම නිසා මෙවර මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප්මඟුල් උත්සවය හෙළ සිරිත් විරිත් අනුව එදිනට (29) පැවැත්වීමට අදාළව සියලු කටයුතු මේ වන විට සංවිධාන කර ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගැනීම සඳහා ගොවීන් උනන්දු කරවීමේ ව්‍යාපෘතියක් ලෙස මේ ජාතික වප්මඟුල් උත්සවය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =