නාලක ද සිල්වා නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නාලක ද සිල්වා මහතා මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාස බාරව කටයුතු කළ නාලකද සිල්වා මහතාට බන්ධනාගාරය තුලදි දැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙසට සහ ඔහුට ඇති රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරු අධිරකරණයෙන් සිදුකළ ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය නාලකද සිල්වාට ආරක්ෂාව සපයන ලෙසටත් ඒ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසටත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේ ඊයේ පස් වැනි දිනටත් ප්‍රකාශ ලබාදීමට එම දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ අතර සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූහ.

පසුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා, සඳුදා සහ අඟහරුවාදා යන දින හතරේම ඒ මහතා ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය. ඊයේ පෙරවරුවේ නාලක සිල්වා මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ පස් වැනි දිනටය. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයවළුන්ගේ දුරකතන සංවාද124න්123ක් සැසඳී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව දක්වා ඇතැයි රහස් පොලීසිය සිද්ධියට අදාළ නඩුව ඉකුත් 23දා කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නාලක ද සිල්වා මහතාට අයත් නිල පරිගණකයෙන් කාන්තා පොලිස් නිලධාරිනියක යොදවා රසිකා සංජීවනී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස් කර ඇති බවත් ඉන් යම් පණිවුඩ යවා ඇති බවත් ඒවා විමර්ශනය කිරීමට එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීමට අනුව රහස් පොලිසිය යොමු කර ඇති ප්‍රශ්නාවලියට අදාළව විමර්ශන සිදු කර ඉදිරි දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් සිදු කර ඇත.

රහස් පොලීසිය ඉදිරිපත් කළ කරුණු විමසා බැලු මහේස්ත්‍රාත්වරිය නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *