පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – නව රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවති ජාතික වප් මඟුල් උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා 06 ක නිලධාරින් අසරණ වී ඇති බවයි. චක‍්‍රලේඛ සමඟ නිලධාරින්ට සේවය කළ හැකී සීමාවක් පවතින අතර ඉන් ඔබ්බට ගොස් ජනතාවාදී යහපත් සේවාවක් වෙනුවෙන් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එබැවින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට හෝ අනිද්දා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ ද දකුණේ ද සියලු ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිමට පසුගිය වසර තුන හමාරක කාලය තුළ වගකීම් දැරූ පිරිසට හැකියාවක් නොලැබුණු බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා උතුරේ ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත නිවාස වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට පමණක් සීමා වූ බව ද කියා සිටියේ ය.

ජනතාවගේ ජීවන බර අඩු කරමින්, රටේ ආර්ථික සමෘද්ධිය ගොඩනඟමින් සහ යහපත්, විනයගරුක හික්මීමක් ඇති රාජ්‍ය පාලනයක් ශක්තිමත් කරගනිමින් මෙන් ම දේශීයත්වය අගය කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එකට එක් විය යුතු බව මෙහි දී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා නව රජය සමඟ සහෝදරත්වයෙන්, සමගියෙන් සහ මිත‍්‍රත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලු දේශපාලනඥයන්ට රාජ්‍ය නිලධාරින්ට මෙන්ම සියලු ආගමික පූජකවරුන් ප‍්‍රමුඛ සමස්ත රටවාසී ජනතාවට ආරාධනා කරන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නව තාක්ෂණය, මෙන්ම ලෝකයේ නවීන දැනුම අපට අවශ්‍ය වුවත් දේශීයත්වය අගයන අපගේ සංස්කෘතිය සහ ආහාර රටාවට ගැළපෙන කෘෂි ආර්ථික වැඩපිළිවෙළක් සමග අප ඉදිරියට ගමන් කළ යුතු බවයි.

ගොවි ජනතාව වෙත බිත්තර වී සහ පළතුරු පැළ බෙදාදීම සංකේතවත් කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ශාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර තිස්සමහාරාම, දෙබරවැව මූලික රෝහලේ වකුගඩු සත්කාර ඒකකය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

එහි නව රුධිර කාන්දුකරණ ඒකකය සහ රසායනාගාරය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප‍්‍රභාත් ජයදේව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *