අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි – විශේෂ ප්‍රකාශයක් සිදු කරයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මීට ස්වල්ප වේලාවකට පෙර මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බාර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

එහිදී අගමැතිවරයා සභාව අමතමින් කියා සිටියේ දීර්ඝ කාලයක් මෙම අමාත්‍යධූරය දැරූ අමාත්‍යවරයෙක් ලෙස ඉතා සන්තෝෂයෙන් තමා අතීතයේ කටයුතු කළ බවය.

සුනාමිය පැමිණි කාලයේ දී ප්‍රශ්න රාශියක් මැද රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයකින් විසඳා ගැනීමට හැකි වු බව ද ඔහු සිහිපත් කළේය.

මේ අතර පසුගිය රජය සමයේ ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය වෙනස් කළ යුතු බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

නිසි මූල්‍ය කලමණාකාරීත්වයෙන් යුතුව යුද්ධය පැවති කාලයේ තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද පැවසීය.

ජාත්‍යන්තර වෙළඳ පොළේ තෙල් සීඝ්‍රයෙන් ඉහළ ගිය ද ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට තමාට මෙම අමාත්‍යාංශය යටතේ හැකියාව ලැබුණු බව ද කියා සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමා මුදල් අමාත්‍යාංශය දැරූ කාලයේ දී අය වැය හිඟය පවා ක්‍රමානුකූලව අඩු කිරීමට හැකි වු බව සදහන් ක‍ළේය.

ජනාධිපති වශයෙන් මුදල් අමාත්‍යධූරයේ කාලයක් සිටි බවත්, දැන් අගමැති වශයෙන් මුදල් අමාත්‍ය ධූරයේ සිටින බවත් රට ආරක්ෂා කර ගනිමින් රටේ ආනගත පරපුර වෙනුවෙන් ආර්ථිකය ගොඩ නැඟීම තම බලාපොරොත්තුව බව ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *