ලොව උසම ප්‍රතිමාව අගමැති මෝදි විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මීටර් 182 කින් යුත් ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද(31) විවෘත විය. ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් මේ සදහා වියදම් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අද දිනයේදී එරට නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල් ගේ ප්‍රතිමාව මෙසේ විවෘත කරන ලද්දේය.

ඉන්දීය නිදහස් අරගලයේ වීරයෙකු මෙන්ම ඉන්දීය හිටපු උප අග්‍රාමාත්‍යවරයෙකු වූ “සර්ධාර් වල්ලබායි පටෙල්” ට උපහාර ලෙස ඔහුගේ පිළිරුවක් මෙලෙස ඉදිවේ. පටෙල්, 1947 නිදහසින් පසු උප අගමැතිවරයා ලෙස කටයුතු කර තිබුණි. ‘ඉන්දියානු යකඩ මිනිසා‘ ලෙසින් ද ඔහුව හඳුන්වනු ලැබේ.

මෙම ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ පද්ම භූෂන සම්මානලාභී රම් වී සූටර් විසිනි.

2010 වසරේදී මෙම ප්‍රතිමාවේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇත. ඒ අනුව එය මාස 33 ක් ඇතුළත ඉංජිනේරුවන් 250 ක් සහ කම්කරුවන් 3,400 ක් පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉදිකර තිබේ.

ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වෙනු ඇතැයි නරේන්ද්‍ර මෝදි විශ්වාස කරන අතර තවත් පිරිසක් පවසන්නේ මෙය ජනතා මුදල් විනාශ කර දැමීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *