හිටපු අගමැති අරලියගහ මන්දිරය භාරදෙයි කියා විශ්වාස කරනවා – අගමැති ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – අරලියගහමන්දීරය ලබා ගැනීම සඳහා නීතිමය පියවරක් ගැනීමට දැනට කිසිදු සූදානම් නැති බව අගමැති ලේකම් එස්. අමරසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(30) අගමැති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ලේකම්වරයා මෙසේද පැවසිය.

අරලියගහමැදුර අගමැතිවරයාගේ නිල නිවාසයයි. රාජ්‍ය සේවකයකු සම්බන්ධයෙන් නම් නිල නිවාසයක් අනුප්‍රාප්තිකයාගේ කැමැත්ත අනුව දින කිහිපයක් පාවිච්චි කළ හැකියි. සමහරු සෑමදාම ර‍ජයේ නිවාසවල ඉඳලා තමන්ට ගෙයක් හදාගෙන නැති අවස්ථාත් තියෙනවා. එහෙම වෙනවිට අනුප්‍රාප්තිකායගේ එකඟතාවය අනුව මාස තුනක් පදිංචිව සිටීමට අවස්ථාව ලැබෙනවා. නමුත් මැති ඇමැතිවරු සම්බන්ධයෙන් එහෙම ප්‍රතිපාදනයක් නැහැ. නිල නිවාසයේ සිටියා කියලා තනතුරේ අයිතියක් බලයක් ලැබෙන්නේ නැහැ. හිටපු අගමැතිතුමා පදිංචියට යන්න තැනක් සොයාගත්තාම අරලියගහමැදුරෙන් යැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ‍මේ නිල නිවස දැන් තියෙන්නේ මගේ භාරයේ. එය අනුප්‍රාප්තිකයාගේ අකමැත්තෙන් භාවිතා කළොත් අවභාවිතා කිරීමක් වෙනවා.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්නවා නම් පොදු දේපොළ පනත යටතේ ගත හැකියි. වත්මන් අගමැතිවරයා නම් කිසිම දෙයක් ඒ ගැන කතා කරලා නැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අතිරේක ලේකම්වරයකුට මම කරුණු දන්වා තියෙනවා හිටපු අගමැතිවරයා‍ගේ පාර්ශවයේ කවුරුත් නැහැ අපිට කටයුතු කරන්න. විරෝධතාවයකදි කුමක් හෝ හානියක් නිල නිවසට සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට කටයුතු කරන්න පුළුවන්. සෑම දෙයක් වෙනුවෙන් ක්‍රියා කරන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා. මේ සෑමදේටම පොදු දේපොළ පනත යටතේ ක්‍රියා කරන්න ඕනේ නැහැ. හිටපු අගමැතිවරයා කිසිදු ප්‍රශ්නයක් ඇති නොකරගෙන අරලියගහ මන්දිරය භාරදෙයි කියලා අපි විශ්වාස කරනවා.

සිවිල්ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සිය නිල වාහනය භාර දෙන්න සතියක් ප්‍රමාද වුණා කියලා ඉකුත් දිනවල බන්ධනාගාර ගතවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *