ජනපති සහ UN මහලේකම් දුරකථන සංවාදයක

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා පෙරේදා (01) පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයකට එක් විය. ඉතා මිත්‍රශීලි අන්දමින් මෙම දුරකථන සංවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා මෙහි දී කරුණු පැහැදිළි කළේ ය.

ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමා වෙත හිමි බලතල අනුව බවයි.

එමෙන් ම සංහිඳියාව සහ ප්‍රතිසංධානයට අදාළ කටයුතු නව රජය යටතේ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෑම මොහොතක ම කැපව සිටින බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන තත්ත්වයට අදාළ ව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති අතර, දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ ය. එමෙන් ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නුදුරේ දීම පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අනතුරුව පවතින සැක සංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි.

සෑම අවස්ථාවකම ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම පිළිබඳ මෙහි දී සතුට පළ කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා අරමුණු වෙනුවෙන් කැපවීම පිළිබඳ ද සතුට පළ කළහ. එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එතුමා වෙත සහාය ලබාදීමට තමන් ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *