රංජිත් මද්දුම බණ්ඩාරගේ ක්‍රියාකලාපය නීති විරෝධීයි – ඇමති කෙහෙළිය

(කොළඹ, ලංකාපුවත්) –රජයේ සේවකයන් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන ඇතැයි එබැවින්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නැතැයි ද සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

‘රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍ය’ යන ලිපි ශීර්ෂය භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ආයතන ප්‍රධානීන්ට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දන්වා යැවීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී බවද රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන්ට නැති බලයක් ආරූඪ කර ගනිමින් කිසිදු අන්තර්ගතයක්, වටිනාකමක් නැති මෙම ලියවිල්ල, රාජ්‍ය සේවයේ නියුතු උගත්, බුද්ධිමත් හා අත්දැකීම් සහිත නිලධාරීන් කිසිසේත් පිළිනොගන්නා බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේම, මෙම ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නැති බව මාධ්‍යයට ද අමුතුවෙන් කිව යුතු නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

සම කැබිනට් ප්‍රකාශක, රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත‍මේන්තුවේ ඊයේ (7) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා නොදැන සිටියත්, ඕනෑම අමාත්‍යාංශයක් තමන් යටතට පවරා ගැනීමේත්, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේත් බලය ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථානුකූලව පැවරී තිබෙන බවයි.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගන්න ජනාධිපතිවරයාට පුළුවන්. මේ මස 14 වැනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අවශ්‍ය කටයුතු සිදුවේවි. කතානායක වුණත් අවසානයේදී කීවේ ගැසට් නිවේදනය අනුව කටයුතු කරනවා කියලා. උගත්, බුද්ධිමත් රාජ්‍ය සේවකයන් දන්නවා මේ ලියවිල්ල ප්‍රතිචාරයක් දෙන්න තරම් වටිනා ලියවිල්ලක් නොවන බව. ඒ අය දන්නවා විධායක ජනාධිපතිවරයකු සතු බලතල මොනවාද කියා.

වරාය හා නාවික කටයුතු ඇමැති, සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා-

මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරන්න එපා යැයි අපි කියනවා. මෙතෙක් සිදුවූ කටයුතු සියල්ල නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව සිදුවූ දේවල්. මෙවැනි ලිපි යැවීම රට, සමාජය භේද බින්න වන වැඩ. එවැනි ලිපි යැවීම ජනතාවට ජනතාවට වැරදි පණිවුඩයක් ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =