බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කරමින් අග්‍රාමාත්‍ය සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත.

විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතාව මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කර තිබේ.

එසේම විනිශ්චකාර සුනිල් රාජපක්‍ෂ මහතාව සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජොති මහතාව එහි සමාජිකයන් ලෙස පත් කර ඇතැයි අමාත්‍යංශය නිවේදනය කරයි.

2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන්නා වූ යම් ආරවුලක් වේනම් ඉක්මනින් විසඳා ගැනීමට පහසුකම් සැලසේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් යම් දුක්ගැනවිල්ලක් තිබේනම් ඒවා මෙම කොමිෂන් සභාවට යොමු කළ හැකිය. එම අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුව විසින් දෙන ලද තීන්දු හා නියමයන් අඩුකිරීමට, සංශෝධනය කිරීමට හෝ සනාථ කිරීමට මෙම කොමිෂන් සභාවට බලය හිමිවේ.

එසේම මෙම කොමිෂන් සභාවට දැනටමත් බදු ගෙවන්නන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා 224ක් නොවිසඳී තිබෙන බැවින් කොමිෂන් සභාව සක්‍රීය කිරීමත් සමඟ ඒවාට කඩිනම් විසඳුමු ලැබෙනු ඇතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *