පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය යටතට

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වන දා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අවසාන වශයෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලීසිය පැවැතුණි.

එම ගැසට් නිවේදනයට අනූව ත‍්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය බට බලකාය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන 17 ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතට පත් කර ඇත.

ඉකුත් රජය සමයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා යටතට පත් කර තිබූ අතර රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේය.

මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේ පැවති ශ‍්‍රී ලංකන් සහ මිහින් ලංකා සමාගම් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යටතට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *