අයවැයක් නොමැතිවුවද රජයේ වියදම් පියවීමට ගැටලුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සතුව පවතින බවත් එනිසා රජය පවත්වා ගෙන යාමේදී කිසිදු මුල්‍ය ගැටලුවක් ඇති නොවන බවත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඉදිරි වසර සඳහා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් මේවන විට විවිධ පාර්ශව මත පළ කර තිබූ අතර ඒ පිළිබඳ විමසීමකදී එම නිලධාරියා මේ බව පැවසී ය.

ආණ්ඩුව විසුරුවා හැරීම හේතුවෙන් මෙවර අයවැයක් ඉදිරිපත් නොකෙරෙන අතර, අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීමක්ද සිදුවී නොමැත.

මේ වසරේ අයවැයක් ඉදිරිපත් නොවුණද රජයේ හදිසි මුදල් අවශ්‍යතාවයට මුදල් ලබා ගැනීමට විශේෂ ගිණුමක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා සම්මත් වූ 2018 අයවැය මගින් මේ වසරට අදාල රාජ්‍ය වියදම් සඳහා මුදල් වෙන් කෙරුණු අතර එම මුදල් මේ වසරේ දෙසැම්බර් 31 දක්වා වෙන් කර තිබේ.

ඒ නිසා මේ වසරේ රාජ්‍ය වියදම් සඳහා ප්‍රතිපාදන වෙන් ව තිබෙන බවත් නව ආණ්ඩුවක් පත්වන තෙක් ජනවාරි මාසයේ මුල් දින කිහිපයක රාජ්‍ය වියදම් සදහා අවශ්‍ය වුවහොත් විශේෂ ගිණුම මගින් මුදල් වෙන් කර ගත හැකි බවත් එම නිළධාරියා ප්‍රකාශ කළේය.

මේ අතර මහ මැතිවරණය වෙනුවෙන්ද එම විශේෂ ගිණුම මගින් මුදල් වෙන් කර ගත හැකි බවත් ඒනිසා රජයේ වියදම් සදහා කිසිදු අවස්ථාවක මුදල් හිඟයක් ඇති නොවන බවත් ඔහු පැවසී ය.

ඒ අනුව කිසිදු ගැටලුවකින් තොරව රජය පවත්වාගෙන යාමට මුදල් අවශ්‍ය තරම් තිබෙන බවත් එහෙත් රජයේ වියදම් සඳහා තවදුරටත් මුදල් වෙන් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන සැළසෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 5 =