කතානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග කඩ කරලා

(කොළඹ, ලංකාපුවත්) –කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා විසින් පත් කළ කැබිනට් මණ්ඩලය නීති විරෝධී බවට, මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයා විසින් ජනාධිපතිතුමා වෙත යොමු කර තිබුණි. ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින්, ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ දී විනිශ්චයකට භාජනය වී ඇති අවස්ථාවකදී, කතානායකවරයා විසින් ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක වන බව, ජනාධිපතිතුමා දන්වා සිටී. එය නිකුත් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ආණ්ඩුක්‍රවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව තිබේ.

නමුත්, එම නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා ක්‍රියා කර ඇති බව, ජනාධිපතිතුමා මෙම ලිපියෙන් දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට හැකියාව පවතී. නමුත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බවයි, එම ලිපියේ දන්වා ඇත.

එමෙන්ම, පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් ජනාධිපතිතුමා වෙත යොමු කරමින්, අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට කතානායකවරයා ගත් උත්සාහය පිළිබඳව ද කණගාටු වන බව ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කර තිබුණි.

උපුටාගැනීම්

මා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයන් හි ව්‍යවස්ථානුකූලත්වය නිර්නය කිරීමට පාර්ලිමේන්තුව වෙර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බව ද එයින් ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමු කර නොමැති බව ද පෙනේ. කතානායකවරයා වශයෙන් පත්වන තැනැත්තා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කර ගැනීම පිණිස ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම කණගාටුවෙන් වුවත්, ඔබට සිහිපත් කිරීමට සිදුව ඇත. ඔබතුමා මා වෙත එවන ලද ඉහත කී ලිපියේ යෝජනා අංක එක මගින් දක්වා ඇති කරුණු, එනම්, එහි සඳහන් පත්වීම් සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය මා තරයේ ප්‍රතිකෂේප කරමි. එම අංක එක යෝජනාවේ මා ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන්ය. ඔබතුමා එවා ඇති මන්ත්‍රී අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් මස 14 දිනය ලෙස යොදා ඇත. තවද අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පූර්ණ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බව ද වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

උපුටා ගැනීම අවසන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *