ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තෙවන දිනය අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අද(16)යි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වේ.

අගපෙළ පිතිකරුවන් සිවුදෙනා සමග එක්ව ලකුණු 171ක් කණ්ඩායමට ගෙනදුන් රොෂේන් සිල්වාගේ සටන්කාමී පිතිහරඹය නිසා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිමට ලකුණු 336ක් රැස් කරමින් එංගලන්තයට වඩා ලකුණු46කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය මුහුණ දුන් එකම ඕවරය නොඉඳුල් ඕවරයක් බවට පත්විය.

ලකුණු 146කට කඩුලු 5ක් දැවී අසීරු අඩියකට ශ්‍රී ලංකා පිල වැටී සිටියදී පිටියට පැමිණි රොෂේන් සිල්වා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු85ක් ලබා සිටියේය. පන්දු 174ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර4ක් සහ හයේ පහරක් එක්විය.

ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීමෙන් මේ තරගයට ක්‍රීඩා නොකිරීම නිසා කණ්ඩායමට එක්වීමට අවස්ථාව ලැබූ රොෂේන්, නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන යාමට සමත්වීම ශ්‍රී ලංකා පිලට යම් අස්වැසිල්ලක් විය. එංගලන්ත පිලේ නායක ජෝ රූට්ගේ කඩුල්ලට කෙළින් වැටුණු පන්දුවකට ස්වීප් පහරක් එල්ල කරන්නට යාමෙන් දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර ඊට පෙර දෙදෙනා එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 211 දක්වා ඉහළට ඔසවා තැබුවේ 7 වැනි කඩුල්ලට ඉතා වටිනා ලකුණු 46ක සම්බන්ධතාවක් ද ගොඩනගමිනි. අනතුරුව රොෂේන් සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා එක්ව තේ පානය දක්වා ඉනිම ඇදගෙන ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 244 දක්වා ඉහළ දමමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *