ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ විශ‍්‍රාම ගැනීමේ ගැටලුවට විසඳුමක් අවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දැනුම, අවබෝධය, සහ අසීමිත අත්දැකීම් සමුදායක් සමග පරිපූර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලය තුළ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් විශ‍්‍රාම ගැනීම පිළිබඳ ගැටලුවට යම් විසඳුමක් අවශ්‍ය අතර, ති‍්‍රවිධ හමුදාව තුළින්ම ඉදිරිපත්වන යෝජනා මගින් ඊට සුදුසු විසඳුම් ලබාදීමට සේනාධිනායකයා ලෙස තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ අත්තිඩිය රීගල් ලේක්සයිඩ් හි පැවති ති‍්‍රවිධ හමුදා බල ලත් නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

විශ‍්‍රාම ගිය පසු කුමක් කරන්නේ ද යන්න ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් අද මුහුණ දී තිබෙන ගැටලුවක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ එවැනි ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම දැනට වඩා අවශ්‍ය බව ද සඳහන් කළේය.

දැනුම බෙදා හදා ගැනීම, ප‍්‍රශ්න හඳුනා ගැනීම, අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය සේවාවේ දී මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරයා ලෙස මෙන්ම සේනාධිනායකයා ලෙස තමා තුළ ති‍්‍රවිධ හමුදාව කෙරෙහි ඇත්තේ දැඩි ගෞරවයක් සහ විශ්වාසයක් බව පැවසූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාවේ දී මෙන්ම සංවර්ධනයේ දී සහ ජනතා සුබසාධන කටයතුවල දී ති‍්‍රවිධ හමුදාව ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගැයීමට ලක් කළේය.

“අභියෝග හමුවේ ති‍්‍රවිධ හමුදාවේ බලලත් නිලධාරින්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ වෘත්තිමය කාර්යභාරය” මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. නවීන තාක්ෂණය සමගින් වෘත්තීය නිපුනත්වයෙන් යුත් බලලත් නිලධාරින් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ලෙස ආයතන අභිවෘද්ධිය සඳහා නායකත්වයෙන් යුතුව කටයුතු කිරීම මගින් හැකියාව මත පදනම් වූ හමුදාවක් ලෙස කි‍්‍රයාකිරීමට ඇවැසි පසුබිමක් ගොඩනඟමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගනිමින් අන්තර් සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා අවස්ථාව සලසාදීමට පෙළගැස්වීම මෙම සම්මන්ත‍්‍රණයේ අරමුණයි. ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මේ වසරේ දී ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණය ඉදිරියේ දී සෑම වසරකම කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ ති‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *