කොට්ටාවේ දී පාතාල සාමාජිකයන් දෙනෛක් වෙඩි කා මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොට්ටාව පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට දී පොලිස් විශේෂ බලකා නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ(26) රාත්‍රී 09.45ට පමණ මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍යා ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර අනතුරුව නිලධාරීන් විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරයෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන ‘හබරකඩ වසන්ත‘ හා ‘මීගොඩ උපුල්‘ යන අය බවට හඳුනාගෙන තිබේ. හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු වේ.

සැකකරුවන් සන්තකයේ තිබී මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *