අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සදහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ උදෙසා සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනමි කරමින් අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණ කළේ මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළ ව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව පවතින නීතිමය ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව පොලීසිය, ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව කි‍්‍රයාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට අදාළ නීති සම්පාදන කටයුතුවල ප‍්‍රගතිය විමසු ජනාධිපතිතුමා ඉදිරි සති දෙකක කාලය තුළ එම කටයුතු අවසන් කිරීමට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන්නේ ය.

නීතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පොලිස් නිලධාරින් විසින් සැකකරුවන්ට නඩු පැවරීමේ දී පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමේ කටයුතුවලට අදාළ ප‍්‍රගතිය ද විමසූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය පිළිබඳව ද සාකච්ඡුාවට ලක් කෙරිණි.

අපරාධ සහ පාතාලය මැඩ පැවැත්වීමට ගෙන යන වැඩපිළිවෙළ සහ එහි නීතිමය සංශෝධන පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, බන්ධනාගාර ක්ෂේත‍්‍රයේ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මෙම සියලු නීති සංශෝධන කටයුතු ඇතුළු සෙසු පියවර කඩිනම් කර ගැනීම සඳහා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන තම වගකීම් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා අදාළ කටයුතුවල ප‍්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාක් තවත් සති දෙකකින් කැඳවීමට ද උපදෙස් දුන්නේ ය.

මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවට ල“ වූ අතර, රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2009 වසරේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් “අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය“ හඳුන්වාදුන්නත් තාක්ෂණික ගැටලු හේතුවෙන් එය සාර්ථක වී නොමැති අතර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් එම ක‍්‍රමය විධිමත්ව කි‍්‍රයාවට නැංවීමටත්, ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඩ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමටත් ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේ ය.

රියදුරු පුහුණු පාසල් ප‍්‍රමිතිකරණය පිළිබඳව ද අවධානය යොමු වූ අතර රියදුරු පාසල් නියාමනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබීය.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ. සුසිල් පේ‍්‍රමජයන්ත, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, නීතිපති ජයන්ත ජයසූරිය, ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *