ශ‍්‍රී ලංකා සංඥා බළකායේ 75 වන සංවත්සරය ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

“සයිබර් අවකාශය තුළ සදාතන යුධ පෙරමුණ” තේමාව යටතේ මෙම ජාත්‍යන්තර සමුළුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප‍්‍රදර්ශනයක් සමගින් නොවැම්බර් 28 සහ 29 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත්ව පැවැත් වේ.

ශ‍්‍රී ලංකා යුද හමුදාව සතු පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන සංඥා බළකාය මේ වන විට සංඥා බළකාය, සංයුක්ත සංඥා රෙජිමේන්තු හතක්, IT රෙජිමේන්තු දෙකක්, එක් අලුත්වැඩියා හා නඩත්තු රෙජිමේන්තුවක්, සයිබර් ආරක්ෂක රෙජිමේන්තුවක්, එක් ඉලෙක්ට්‍රෝනික යුධෝපකරණ බලඝණයක් සහ සංඥා පුහුණු පාසලක් සමගින් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස කි‍්‍රයාත්මක වේ.

එහි 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය සහ ප‍්‍රදර්ශනය සඳහා එංගලන්තය, රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් හමුදා සහ හමුදා නොවන අන්තර්ජාතික තොරතුරු තාක්ෂණවේදින් විශාල පිරිසක් එක්ව සිටි.

තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.

සේනාධිනායක, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සම්ප‍්‍රාප්තිය වෙනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *