මොරගහකන්දේ වාන් දොරටු අද විවෘත වෙයි – අඹන්ගග පහල ජනතාව සැලකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද කළුගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වනවිට පිටාර මට්ටමට ළගාවී තිබේ. ඒ, අනුව අද (30) පෙරවරුවේ එහි වාන් දොරටු විවෘත කිරීමට නියමිතය.

එම කටයුත්ත සිදුවන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

දශක 4 කට පමණ පසු ශී‍්‍ර ලංකාවේ ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේද මොරගහකන්ද කළුගග ජලාශ ව්‍යාපෘතියයි.

2007 වසරේ එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර 2015 සිට ඉදිකිරීම් වේගවත් කෙරුණි. කොන්කී‍්‍රට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළුගල් පිරවූ වේල්ලක් ලෙස වේලී 3 ක් ඇති ශී‍්‍ර ලංකාවේ එකම ජලාශයද මෙය වේ.

මේ අතර මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද විවෘත කරන බැවින් අඹන්ගග පහල ජනතාව ඒ පිළිබද සැලකිලිමත් වන්නැයි වාරි ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් ගංගා අසල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකල යුතු බව මොරගහකන්ද වාරි ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි.

මේ වන විට මොරගහකන්ද ජලාශයේ වාන් මට්ටම වන ඝන මීටර් 185 ට ආසන්නව පවති.

මේ අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේ මේ වන විටත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට සූදානම්න් පසුවන ලෙස දන්වා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 19 =