ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සළසමින් මොරගහකන්ද වාන් දොරටු විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල් ඵල ගන්වමින් එතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ඉදි වූ කඩිනම් මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.

තම දීර්ඝකාලීන සිහිනය යථාර්ථයක් වෙමින් ජලාශයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමවීමෙන් අනතුරුව ප‍්‍රථම වතාවට උතුරා වාන් දමන ජලාශය නිරික්ෂණය කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ ජලාශ පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය වන අතර එය ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කි‍්‍රයාදාමයේ සුවිශේෂී අවස්ථාවකි. එහි මංගල දියවර නිකුත් කිරීම ඉකුත් ජනවාරි 08 වනදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඉතා කෙටි කලකින් ජලාශය පිටාර මට්ටමට පැමිණිම හේතුවෙන් ස්වභාව ධර්මයේ ආශිර්වාදය පවා ඊට ලැබී ඇති බව කියැවේ.

මොරගහකන්ද යනු පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ජලධාරිතාවයක් රැුඳවිය හැකි ජල ව්‍යාපෘතියකි. මේ වන විට එහි ජල ධාරිතාව පරාක‍්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයකි. ඉන් කුඹුරු අක්කර 82,000 ක් අස්වැද්දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙන අතර උතුරු මැද පළාතේ වැව් 1600 කට සහ වයඹ පළාතේ වැව් 303 කට ජලය නිකුත් කෙරේ. ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03 ක් අස්වද්දා පවුල් ලක්ෂ 15 කට සෙත සැලසෙන අතර පවුල් ලක්ෂ 03 කට පිරිසිදු පානීය ජලය සැපයේ.

මොරගහකන්ද ජලාශය මඟින් විදුලිය නිපදවීම මේ වන විටත් සිදුවන අතර, ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප‍්‍රමාණය මෙගාවොට් 25කි. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි. ජලාශයේ අපේ්ක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 කි. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන කටයුතු ද මේ වන විට අරඹා තිබේ.

මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා අනතුරුව කළු ගඟ ජලාශ පරිශ‍්‍රය වෙත ද පැමිණ එහි ඉදිකිරීම් කටයුතු නිරික්ෂණ කළේය. මොරගහකන්ද ජලාශයට සම්බන්ධ වන අනෙක් මහා ජලාශය වන්නේ කළු ගඟ ජලාශයයි.

මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ පිහිටි කළුපහන ප‍්‍රදේශයෙන් ආරම්භවන කළු ගඟ, ලග්ගල, පල්ලේගම ප‍්‍රදේශයන්හි දි හරස් කරමින් කළු ගඟ ජලාශය ඉදි කෙරේ.මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248 කි. එනම් අක්කර අඩි 200,880කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68 කි.

එම ජලාශයේ ද ජලය පිරවීමේ කටයුතු පසුගිය ජූලි 23 වනදා ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරුණු අතර මේ වන විට එහි ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ද කඩිනමින් සිදු වෙමින් පවතී. ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ව්‍යාපෘති නිලධාරින්ට සහ ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේ කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ ද කඩිනමන් ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ජයන්ති සිරිසේන මැතිණිය ද, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *