ඉන්ධන මිල වෙනස විසඳීමට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සාකච්ජා කර, පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඉන්දියන් තෙල් සමාගමට අයත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ(29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ජාවකදී මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇත.

එහිදී බෙදුම්කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම් හල්වල විකුණුම් මිල හා ඉන්දීය තෙල් සමාගම් පිරවුම්හල්වල මිල ගණන් සමාන මට්ටමකට ගෙන එන ලෙසයි.

තෙල් සංස්ථා පිරවුම්හල් තෙල් මිලට වඩා ඉන්දියන් තෙල් සමාගමේ පිරවුම්හල්වල ඇති මිල ගණන් ඉහළ මට්ටමක පවති. මේ තත්වය තුළ තමන්ට පාඩුවක් සිදුවන බව එම සංගමය කියා සිටියේය.

විෂමතාව මඟහරවා ගැනීමට කඩිනමින් පියවර ගන්නැයි, අග්‍රාමාත්‍යතුමා මෙම සාකච්ඡාවේ දී විෂය බාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් ලබා දුන්නේය. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *