අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින තත්ත්වය හමුවේ මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උපදෙස් ලබාදී ඇත.

අද(04) පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

එහිදී ; “අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *