දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතියේ අවසන් – ජනපති සහතික වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇඳගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අදුරදර්ශී වැඩපිළිවෙළ නිමා කර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායකවන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (04) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

“තීරණය රට වෙනුවෙන්” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මේලනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරිහු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කළා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප‍්‍රතිපත්ති හමුවේ ප‍්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමන්ට ද අනිටු විපාකවලට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ හමුවේ තමාට ලබාදිය හැකිව තිබූ එකම පිළිතුර ඔහු අගමැති ධූරයෙන් ඉවත් කර දැමීම බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ මේ රටේ ජනතාව පිළිබඳව බව පැවසූ ජනාධිපතිතුමා රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙළ පරාජය කළ හැකි එකම දේශමාමක, මානවවාදී දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය(slfpnews.lk) අන්තර්ජාලයට මුදා හැරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන්ම පක්ෂ කි‍්‍රයාකාරිහු විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *