රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි රටම බලා සිටි තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත්කරනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා හා තවත් විනිසුරුවරුන් කිහිපදෙනකු පසුගිය දින කිහිපයේදී අධිකරණ කටයුතුවලට සහභාගි නොවීය. ඔවුන් නඩු තීන්දුව සැකසීමේ කටයුතුවල යෙදී සිටින බව එම ආරංචිමාර්ග විශ්වාස කරයි.

අධිකරණයේ නිවාඩු සමය හෙට සිට ආරම්භ වන බැවින් හෙටට පෙර නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් උපරිම උත්සාහයක් දරනු ඇති බවද අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් කියයි.

පෙත්සම්කරුවන් 13 දෙනකු විසින් මෙම මානව අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කොට තිබූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුද ඒ අතරවීම විශේෂත්වයක් විය. එයට මැදිහත්කරුවන් ලෙසද තවත් පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් විය. එම සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීම පසුගිය 5, 6, 7 දිනවල සිදුවිය. නඩු තීන්දුව 7 වනදා ලබාදෙනු ඇතැයි මුලදී බලාපොරොත්තු වුවද පසුව එය දින නියමයක් නැතුව කල්දමනු ලැබීය. එම නිසා තීන්දුව දෙන දවස ළඟා වනතුරු රටම බලා සිටියේ නොඉවසිල්ලෙනි. මෙම පෙත්සම් 13 ට එරෙහිව කරුණු දැක්වීමට අතරමැදියන් ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය ජී. එල්. පීරිස්, ආචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය ජගත් වැල්ලවත්ත, වෛද්‍ය සිසිර ‍ෙස්න ද සිල්වා, අමාත්‍ය උදය ගම්මන්පිල සහ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත යන අයද මැදිහත්කාර පෙත්සම් ගොනුකර තිබිණි. මුලදී මෙම සියලු පෙත්සම් සලකා බැලුණේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේය. මෙම පෙත්සම් හදිසි කරුණක් ලෙස සලකා ඉක්මණින්ම සලකා බැලීම ඇරඹිණි. පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකර ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 33(2)සී වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුලින් ජනාධිපතිවරයාට හිමිවී තිබෙන බවද නීතිපතිවරයා එහිදී සඳහන් කළේය.

පෙත්සමේ මැදිහත්කරුවන් වූ පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත පසුව මේ සඳහා හත්දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කරනු ලැබූ අතර පෙත්සම් විභාගය සිදුවූයේ එම විනිශ්චය මණ්ඩලය ඉදිරියේය.

(මූලාශ්‍ර – දිනමිණ පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *