රනිල් වික‍්‍රමසිංහ මහතා 05වැනි වතාවටත් අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගමැතිවරයා ලෙස පස්වැනි වතාටවත් ඊයේ (16) දිවුරුම් දුන්නේය.

2015 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවා සිවු වැනි වතාවටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන් අතර පසුගිය ඔක්තෝම්බර් 26 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබිණි.ඉන්පසු දියත් වූ ප්‍රජාතන­්ත්‍රවාදය රැක ගැනීමේ ජන අරගලය,ව්‍යවස්ථාදායකය රැක ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සහ අධිකරණ ක්‍රියාදාමයකින් පසුව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දිව්රුම් දෙනු ලැබිණි.

මේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික ‍පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටි අතර දිවුරුම් දීම වාර්තා කිරීම සඳහා කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යයකට ඉඩ ප්‍රස්ථාව ලබා දී නොතිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට අගමැති ලෙස දිවුරුම් දෙනු ලැබුවේ 1993 වසරේදීය. 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, දෙවැනි වතාවට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හොබවනු ලැබීය.

ඉන්පසු 2015 ජනවාරි 9 වැනි දා සිට 2015 අගෝස්තු 17 වැනි දා දක්වාත්, 2015 අගෝස්තු 17 වැනිදා සිට 2018 ඔක්තෝම්බර් 26 වැනි දා දක්වාත්, අගමැති ධුරය දැරූ අතර පස්වැනි වතාවටත් ඊයේ දිව්රුම් දිවුරුම් දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක පස්වරක් අගමැති ධු‍රයේ දිවුරුම් දෙමින් වාර්තාවකට හිමිකම් කීය.

අගමැති ධුරයේ ඊයේ දිවුරුම් දීමෙන් පසු අරලිය ගහ මන්දිරයට පැමිණි වික්‍රමසිංහ මහතා එහි රැස්ව සිටි දහස් ගණන් ජනතාව විසින් පිළි ගනු ලැබුවේ වල් වැදීමට ගිය ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත් අභීත සෙන්පතියකු විලසිනි.ඔල්වරසන් දෙමින් ඔවුහූ සිය නායකයා පිළි ගත්හ.ජය‍ ඝෝෂා නැගූහ. ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටට පත් පිරිස අරලිය ගහ මන්දිරයේ රබන් සුරල් වැයූහ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සත්කෝරලයේ ප්‍රධාන සංඝනායක මාගල්කන්දේ ප්‍රඥ්ඥාසාර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා සිදු කැර රට ජාතිය වෙනුවෙන් සේවය කිරිමට අයෝමය ශක්තිය ලැබේවා යැයි අභිනව අගමැතිවරයාට ආශිර්වාද පුද කළහ. සර්ව ආගමික පූජකවරුන්ද ආගමික වතාවත් පවත්වා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.අනතුරුව නව අගමැතිවරයා රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනි දා සිට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා නිදි නොලබා ඇප කැප වී ක්‍රියා කළ සැමොටම සිය ප්‍රණාමය පුද කෙළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සැමරීම සඳහා රැස්ව සිටි පිරිසට කැවුම් කිරිබත් සංග්‍රහයක්ද පැවැත් විණි.

මේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමු‍ණේ පක්ෂ නායකයින්, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින්, පාක්ෂිකයින් ඇතුළු අති විශාල ජනතාවක් සහභාගි වි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + one =